බංග්ලාදේශ සුපිරි තරුව ජාත්‍යන්තර T20 පිටියට සමුදෙයි

322

Guyana හිදි නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය අවසානයේ දී, බංග්ලාදේශ සුපිරි ක්‍රීඩක Tamim Iqbal තමන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

3-0ක් ලෙස අවසන් වූ මෙම තරගාවලියේ අවසන් තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කරන්නට බංග්ලාදේශය සමත් වූ අතර තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ද Tamim විසිනුයි.

ඔහු සිය විශ්‍රාම ගැනීම පිළිබඳව නිවේදනය කරමින් සිය Facebook පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, “මම අද සිට T20 ජාත්‍යන්තර තරගවලින් විශ්‍රාම ගන්නවා. සියලු දෙනාටම ස්තුතියි”, යනුවෙනුයි.

ඔහුගේ මෙම විශ්‍රාම ගැනීම පිළිබඳව පසුගිය කාලසීමාවේ දී කතාබහක් ඇතිව තිබුණේ ඉකුත් ජනවාරි මාසයේ සිට ඔහු මෙම ආකෘතියෙන් විවේක ගැනීම හේතුවෙනුයි. ඔහු එහි දී පවසි තිබුණේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවලින් තමන් මාස 6ක පමණ විවේකයක් ගන්නා බවයි.

“මගේ සම්පූර්ණ අවධානය ටෙස්ට් සහ එක්දින තරග සඳහා යොමු කෙරේවි”, ඔහු පසුගිය ජනවාරි 27 වැනිදා ප්‍රකාශ කර තිබුණා. “අපි ලෝක ටෙස්ට් ශූරතාවයට සහ 2023 ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් වෙමිනුයි සිටින්නේ. මම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය ගැන ඉදිරි මාස 6 දී අවධානය යොමු නොකරාවි. මම අපේක්ෂා කරනවා දැනට විස්සයි විස්ස තරග හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ඉදිරියටත් හොඳින් දක්ෂතා දක්වාවි කියලා සහ මාව විස්සයි විස්ස කණ්ඩායමට අවශ්‍ය වෙන එකක් නැහැ කියලා. නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලයට මාව අවැසි නම් සහ මම ඒ සඳහා සූදානම් නම් මම නැවතත් මගේ තීරණය ගැන සලකා බලාවි”.

කලක පටන් ඔහු විස්සයි විස්ස ආකෘතියෙන් ඈත්ව සිටි පසුබිමක, පසුගිය වසරේ දී සියලු දෙනා පුදුමයට පත් කරමින් ඔහු විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන බංග්ලාදේශ සංචිතයෙන් ස්වකැමැත්තෙන් ඉවත් වුනා.

ආරම්භක පිතිකරුවන් ලෙස Soumya Sarkar සහ Mohammad Naim හට සාර්ථක වීමට ඉඩ සලසා දෙමින් ඔහු කණ්ඩායමෙන් ඉවත් වුනත්, ඔවුන් දෙදෙනාම අපේක්ෂා කළ දක්ෂතා අතර පැමිණීමට සමත් වුනේ නැහැ. අවසානයේ දී ඔවුන් දෙදෙනා හට විස්සයි විස්ස සංචිතයෙන් ඉවත් වීමට ද සිදු වුනා.

Tamim අවසන් වරට විස්සයි විස්ස තරගයක් සඳහා ක්‍රීඩා කළේ 2020 වසරේ මාර්තු මාසයේ සිම්බාබ්වේට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 33ක් සඳහා මුහුණ දෙමින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 41ක්. මීට පෙර පාකිස්තානයේ දී පැවති විස්සයි විස්ස තරගාවලියක දී ඔහු පන්දු 53ක දී ලකුණු 65ක් ලබා ගත් අතර එම ඉනිම ඇතැම් ස්ථානවල විවේචනයට ලක්වුනා.

විස්සයි විස්ස ආකෘතියේ දී ඔහුගේ දක්ෂතා එසේ වුවත්, අනෙකුත් ආකෘතීන් තුළ දී හොඳින් දක්ෂතා දක්වන්නට Tamim සමත් වී සිටින අතර, සෙනසුරාදා (16) අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගාවලි ජයග්‍රහණ ඇතුළුව අඛණ්ඩව එක්දින තරග තරගාවලි පහක් සඳහා බංග්ලාදේශය මෙහෙයවීමට ඔහු සමත් වුනා.

Tamim 2007 සිට 2018 දක්වා විස්සයි විස්ස කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර ඔහු එහි දී ක්‍රීඩා කළ තරග ගණන 75ක්. තවමත් බංග්ලාදේශ වෙනුවෙන් විස්සයි විස්ස ශතකයක් ලබා ගෙන සිටින එකම පිතිකරුවා ඔහු වන අතර, වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැනි ස්ථානය දිනාගෙන සිටින්නේ 24.65ක සාමාන්‍යයක් සමඟින් ලකුණු 1701 වාර්තා කරමිනුයි.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගත්තත් ඔහු දේශීය විස්සයි විස්ස පිටියේ දක්ෂතා දක්වනු ඇති අතර BPL තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ ද Tamim වීම විශේෂත්වයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<