බංග්ලාදේශ ක්‍රීඩකයෙක්ට තරග තහනමක්!

7082

බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක Shohidul Islam හට මාස 10ක සියලුම ආකාරයේ ක්‍රිකට් තරග තහනමක් පනවා තිබෙනවා. ඒ තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවකට වරද පිළිගැනීම නිසයි.

ඒ අනුව ICC තහනම් උත්තේජක භාවිතා කිරීම වැළැක්වීම පිළිබඳ චර්යා ධර්ම පද්ධතියේ (ICC’s Anti-Doping code) 2.1 වගන්තිය යටතේ ඔහුව 2023 මාර්තු 28 දක්වා තරග තහනමකට යටත් කර තිබෙනවා.

බංග්ලාදේශය වෙනුවෙන් එක් විස්සයි විස්ස තරගයක් පමණක් ක්‍රීඩා කර ඇති Shohidul, අහඹු ලෙස පවත්වන උත්තේජක පරීක්ෂණ වැඩසටහන යටතේ පරික්ෂාවට ලක්ව තිබුණා. ඒ අනුව ඔහු ලබා දුන් මුත්‍රා සාම්පලයක Clomifene නම් තහනම් උත්තේජකයක් අන්තර්ගත වී තිබෙනවා.

ICCය පවසා සිටියේ Shohidul, නොසැලකිලිමත් ලෙස බෙහෙතක් සමඟ ප්‍රතිකාරයක් සඳහා අදාළ තහනම් උත්තේජකය භාවිතා කර තිබෙන” බවයි. ICCය වෙත සාක්ෂි ලබා දෙමින් Shohidul පවසා සිටියේ ඔහු සිය දක්ෂතාවය වර්ධනය කර ගැනීම සඳහා එම උත්තේජකය භාවිතා නොකළ බවයි.

නවසීලන්තයට හා දකුණු අප්‍රිකාවට එරෙහි සංචාර වලට Shohidul සහභාගී වුනත්, ඔහු එකදු තරගයක් හෝ ක්‍රීඩා කළේ නැහැ. ඔහු බංගලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් හා විස්සයි විස්ස තරගාවලිවල සංචිත සඳහා නම් කර තිබුනත්, ආබාධයක් නිසා ඔහුට එම සංචාරය මඟ හැරුණා.

ඔහු පෞද්ගලික කරුණක් සඳහා බෙහෙත් ගත්තා. නමුත් එය අපිට නිසි ලෙස දැනුම් දුන්නේ නැහැ. පසුව ඔහු ICC තහනම් උත්තේජක නීති කඩ කළ බව ICCය ප්‍රකාශ කළා. ඔහු ඒක හිතලා කළේ නැහැ. ඒ නිසා මාස 10ක තරග තහනමක් පමණයි නියම කළේ”, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි Nizamuddin Chowdhury පවසා සිටියා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<