Colombo සහ Jaffna අවසන් මහා තරගයට

37

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Colombo සහ Jaffna කණ්ඩායම් සමත් වුනා.

අද පැවැති තරගවල දී අගනුවර ක්‍රීඩකයෝ තරගාවලියේ පිට පිට ලැබූ 7 වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට සමත් වූ අතර ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු 14ක් ලබා ගනිමින් පළමු අසුන වෙන්කර ගත්තා.

එහි 2 වැනි ස්ථානය හිමි වූයේ ප්‍රසාද ලකුණු 9ක් හිමිකර ගත් යාපනය කණ්ඩායමටයි. කෙසේ වෙතත් අද ඔවුන් Dambulla කණ්ඩායම හමුවේ පරාජයට පත් වූවා.

මේ අතර අද පැවැති තරගවල දී Jaffna කණ්ඩායමේ හසිත බෝයගොඩ සහ ලහිරු මධුශංක ද, Dambulla කණ්ඩායමේ නිශාන් මධුශ්ක, සොනාල් දිනූෂ සහ වනිඳු හසරංග අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙණෙණ ක්‍රීඩකයන් බවට පත් වූවා.

19 වැනි තරගය

• Colombo සහ Galle අතර තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ අගනුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 171ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ විශාද් රන්දික. ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා ගන්නවා. ඊට අමතර ව නුවනිඳු ප්‍රනාන්දු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නවා.

එම ඉනිමේ ලකුණු 127කට කඩුලු 7ක් දැවී ගිය අවස්ථාවේ දී කවිඳු නදීශාන් සහ විශාද් රන්දික එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 70ක දී ලකුණු 44ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා. එහි දී කවිඳු නදීශාන් පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යැවූ මුදිත ලක්ෂාන් ලකුණු 19කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව දුනිත් වෙල්ලාලගේ සහ ලහිරු සමරකෝන් කඩුලු 2ක් බැගින් ද සහ අකිල ධනංජය සහ මිලාන් රත්නායක කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාලු ඉනිම ලකුණු 107කට සීමා කිරීමට අගනුවර පන්දු යවන්නෝ සමත් වුනා.

එහි දී දිලුම් සුදීර ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදීයා බවට පත් වුනා. ඊට අමතර ව චමිඳු වික්‍රමසිංහ සහ ප්‍රමෝද් මධුශාන් කඩුලු ද්විත්වය බැගින් ද කවිඳු නදීශාන්, දසුන් ශානක සහ චරිත් අසලංක කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ගාලු ඉනිමේ පළමු කඩුලු 7 ලකුණු 49ක් වෙද්දී දැවී ගිය අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40ක දී ලකුණු 24ක සබඳතාවක් එක් කිරීමට රමේෂ් මෙන්ඩිස් සහ මුදිත ලක්ෂාන් (9) සමත් වූනා.

එහි දී වැඩි දායකත්වයක් දැක් වූ රමේෂ් මෙන්ඩිස් ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

ඔහු අවසන් කඩුල්ල වෙනුවෙන් අකිල දනංජය (නොදැවී 3) සමඟ එක් වෙමින් පන්දු 33ක දී ලකුණු 31ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo – සියලුම දෙනා දැවී 171 (40.0) නුවනිඳු ප්‍රනාන්දු 35, විශාද් රන්දික 36, කවිඳු නදීශාන් 20, ලහිරු සමරකෝන් 2/34, දුනිත් වෙල්ලාලගේ 2/25, මුදිත ලක්ෂාන් 4/19

Galle – සියලුම දෙනා දැවී 107 (27.2) රමේෂ් මෙන්ඩිස් 45, ප්‍රමෝද් මධුශාන් 2/23, චමිඳු වික්‍රමසිංහ 2/07, දිලුම් සුදීර 3/25

Colombo කණ්ඩායමට ලකුණු 64ක ජයක්.

20 වැනි තරගය

Dambulla සහ Jaffna අතර තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් දඹුලු ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 234ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 230ක් ලබා සිටියා. එතැන් සිට තරගය නැවත ආරම්භ නොවූ අතර ඒ වෙද්දී ලබා ගත් ලකුණු අනුව දඹුලු ක්‍රීඩකයන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 16ක ජයග්‍රහණයක් හිමි වූවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 15ක් වෙද්දී දැවී ගිය ද අනතුරු ව කඩුල්ලේ දී පන්දු 49ක දී ලකුණු 46ක සබඳතාවක් ගොඩ නැගීමට හසිත බෝයගොඩ සහ නිපුන් කරුණානායක (16) සමත් වෙනවා.

අනතුරු ව හසිත බෝයගොඩ සහ නායක ජනිත් ලියනගේ එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 96ක දී ලකුණු 71ක සබඳතාවක් එක් කරනවා. ජනිත් ලියනගේ පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වූ අතර හසිත බෝයගොඩ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 65ක් ලබා සිටියා.

පසු පෙළින් පිටියට පිවිසි ලහිරු මධුශංක පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කසුන් රාජිත ලකුණු 53ට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වුනා. ඊට අමතර ව ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් ද සහ වනිඳු හසරංග කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක 3ක් වාර්තා වීම කැපී පෙණුනා. ආරම්භක පිතිකරු වූ නිශාන් මධුශ්ක පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඉනිමේ මැදි පෙළින් පිටියට පිවිසි වනිඳු හසරංග පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තා. දඹුලු ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 123ක් ව තිබිය දී පිටියට පිවිසි වනිඳු හසරංග 6 වැනි කඩුල්ලට සොනාල් දිනූෂ සමඟ එක් වෙමින් පන්දු 58ක දී ලකුණු 79ක සබඳතාවක් ගොඩ නගමින් දඹුලු ඉනිම ශක්තිමත් කළා.

තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට සොනාල් දිනූෂ පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 58කට කඩුලු 3ක් දවා ගත් අතර එශාන් මාලිංග ද කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව ජනිත් ලියනගේ, ලහිරු මධුශංක සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Jaffna – කඩුලු 9ක් දැවී 234 (46.0) හසිත බෝයගොඩ 65, ජනිත් ලියනගේ 39, ලහිරු මධුශංක නොදැවී 51, කසුන් රාජිත 4/53, වනිඳු හසරංග 2/25, ලක්ෂාන් සඳකැන් 3/33

Dambulla – කඩුලු 8ක් දැවී 230 (42.0) නිශාන් මධුශ්ක 56, සොනාල් දිනූෂ නොදැවී 56, දිනිරු අබේවික්‍රමසිංහ 22, වනිඳු හසරංග 62, එශාන් මාලිංග 2/25, විජයකාන්ත් වියස්කාන්ත් 3/58

Dambulla කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 16ක ජයක්.

තරගයේ විසඳුමක් නෑ.

අද නිමා වූ තරග ද්විත්වයත් සමඟින් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වූ අතර ඒ අනුව ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ද්විත්වය Colombo සහ Jaffna කණ්ඩායම් මගින් හිමි කර ගත්තා.

ඔවුන් සහභාගී වන අවසන් මහා තරගය මේ මස 06 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<