අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ පෙරළිකාරී වටය ඇරඹේ

430

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පිළිමළුන් පිටුදැකීමේ තරග වටය ආරම්භ කරමින් පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරග අද (15) සිට ආරම්භ වීමට නියමිතයි.

කුසල්ට මේ ලෝක කුසලානයත් අහිමි වෙයි ද?

දකුණු අප්‍රිකාව …..

මේ තරග වටය සඳහා කණ්ඩායම් තෝරා පත්කරගැනීම වෙනුවෙන් පැවති මූලික වටයේ තරග වට වලදී ඉතාමත් තියුණු හා තීරණාත්මක තරග ගණනානවක්ම පැවැත්වූ අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩා සමාජ කණ්ඩායම් 24ක් තරග වැදුණු එම මූලික වටය අවසානයේ දී දක්ෂතා දැක්වූ කණ්ඩායම් 8ක් (එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙක බැගින්) මෙම අර්ධ අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබේ.

>> දේශීය අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ තතු <<

එම කණ්ඩායම් අතර පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන එස්. එස්. සී, එන්. සී. සී, යුද හමුදා, සැරසන්ස්, සී. සී. සී. හා රාගම කණ්ඩායම්වලට අමතරව පසුගිය දා නිමා වූ අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්  මුවර්ස් ක්‍රීඩා සමාජය හා දෙවන පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන පානදුර ක්‍රීඩා සමාජය ද මේ සුපිරි කණ්ඩායම් 8 සඳහා තේරී පත්විය.

එහි දී පානදුර ක්‍රීඩා සමාජය විසින් බ්ලූම්ෆීල්ඩ්, ගාල්ල ක්‍රිකට් සමාජය හා බී. ආර්. සී යන කණ්ඩායම් පරාජය කිරීම දේශීය ක්‍රිකට්ලෝලීන් අතර දැඩි කතාබහකට ලක්විය. ඒ අතර එස්. එස්. සී, එන්. සී. සී, යුද හමුදා යන කණ්ඩායම් මූලික වටයේ තරග අවසන් කළේ කිසිදු තරගයකින් පරාජයට පත්නොවෙමින් වීම ද සුවිශේෂී වේ.

මහේල සහ චාමිකර වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ …..

එසේම තරගාවලියේ මූලික වටය අවසානයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින්නේ තරග 5ක දී ලකුණු 318ක් ලබා ගත් පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන ඉන්දීය ජාතික ක්‍රීඩකයෙක් වන ගිටනේෂ් කේරා ය.

ඊට අමතරව රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන නිශාන් පීරිස් කඩුලු 18ක් දවාගෙන හොඳම පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටී. තවද දැනට තරගාවලියේ කැපී පෙනෙන තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්ව ඇති එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ සචිත්‍ර සේනානායක පන්දු යැවීමෙන් කඩුලු 14ක් හා පිතිකරණයෙන් ලකුණු 310ක් ලබාගෙන දස්කම් දක්වා තිබේ.

අද (15) කටුනායක දී පැවැත්වෙන එන්. සී. සී හා සී. සී. සී. තරගය හා පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන එස්. එස්. සී හා රාගම තරගය ඉතාමත් තරගකාරී තරග බවට පත්වෙනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ, එළඹෙන ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන් බලා සිටින දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියන්ජන් හා ඩිල්ෂාන් මුණවීර වැනි ක්‍රීඩකයින් එම තරගවලට සහභාගී වන නිසාවෙනි.

මෙම තරගාවලියේ සියලුම තතු, තරග වාර්තා, තරග ඡායාරූප ඇතුළු දෙස් විදෙස් කෙළිබිමේ තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සුදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<