කුසල්ලාට වගකීම් පැවරුණ, ශිරාන්ට කොරෝනා හැදුණ, බංගලි සංචාරය

223

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය 16 වැනිදා බංග්ලාදේශයට යන විට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ත්‍රිත්වයේ අවසන් තරග 10 ම පරාජය වෙලා හිටියේ. 

ඒත් ඔවුන් පසුගිය කාලයේ එරට දී සහභාගී වී සිටි එක්දින තරග 10න් 9ක් ම ජයග්‍රහණය කර සිටියා. මේ නිසා ඔවුන් හිටියේ ටිකක් උද්දච්ච ලෙසින්. කොටින් ම කියනවා නම් අපිට ‘නයි’ පෙන්නනවමයි කියන තාලෙන්.  

තරගාවලිය ටිකෙන් ටික ළං වෙද්දී මේ කතා මාධ්‍ය මගින් ද තහවුරු කළා. ඒකට තවත් හේතුවක් වුනේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී අපට වඩා පියවර කිහිපයක් ම බංග්ලාදේශය ඉදිරියෙන් සිටිමයි. ඒ වගේ ම මෙම තරග ICC ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු තීරණය කරන තරග ද වුනා. එම ලැයිස්තුවේ ද බංග්ලාදේශය හිටියේ අපිට වඩා ඉදිරියෙන්. 

තරගාවලියට දින ගනිද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල බොහෝ වෙනස්කම් සිදු වුනා. කණ්ඩායමට බලපෑ ප්‍රධානතම හේතුව වුනේ නව තේරීම් කමිටුවක් පත් වීම. එහි මුල් පුටුව හිටපු වේගපන්දු යවන්නෙක් වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට හිමි වුනා.

නව පත්වීමත් සමඟ ප්‍රමෝද්‍යගේ අදහස වූයේ නව එක්දින නායකයෙක් සමඟ මේ ගමන ආරම්භ කිරීමයි. ඔහුට ඊට හේතුවක් ද තිබුණා. ඒ 2023 ලෝක කුසලාන තරගාවලි ඉලක්කය. ඒ අනුව දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ නුවන් ප්‍රදීප් බංගලි සංචාරයට එක්කර නොගෙන පසෙකට කරනවා. පළපුරුදු ක්‍රීඩකයන් 7-8ක් සමඟ නවකයන් 4-3ක් ඔහුගේ අත්හදා බැලීමයි.  

30 හැවිරිදි 24 වැනි නායකයා

ඒ අනුව නව තේරීම් කමිටුවේ විශ්වසනීය නායකයා වන්නේ 30 හැවිරිදි වමත් ප්‍රවේගකාරී පිතිකරු පොඩි සනා, එහෙමත් නැත්නම් ලොකු කුසල් ලෙසින් ද හැඳින්වෙන කුසල් ජනිත් පෙරේරායි. ඒ අනුව 1975 දී අනුර තෙන්නකෝන්ගෙන් ඇරඹි ශ්‍රී ලංකා එක්දින නායකත්වයේ කිරුළ හිමි ලැයිස්තුවේ 24 වැනි එක්දින නායකයා ලෙසින් කුසල් ලැයිස්තු ගත වෙනවා. 

කුසල් මේ තරගාවලියේ නායකයා ලෙසින් තමන්ගේ යුතුකම් මනා ලෙස ඉටු කරන්නට වෙහෙස වෙන අයුරු අප දුටුවා. තරගාවලිය නිමාවේ දී ඔහු තරග 3කට සහභාගී වෙමින් ශතකයක් සමඟින් ලකුණු 164ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 54.66ක්. නමුත් මේ දක්ෂතාව ඔහුගේ අවසන් තරගයේ ලත් ශතකය හේතුවෙන් බවත් පැවසිය යුතුයි. 

එසේ වූවත් ඔහු පළමු තරගයේ දී කණ්ඩායම ගොඩ ගැනීමට ගත් වෙහෙස ප්‍රශංසනීය බවත් කිව යුතුයි. කෙසේ වෙතත් මෙරටින් පිටත් වීමට පෙර සිට ම ඔහු විශ්වාසය තැබූ ආකාරයෙන් ම ඔහු පළමු තරග දෙකේ දී කඩුල්ල පිටුපස රාජකාරිය ද බාර ගත්තා. නමුත් ඔහු පිතිකරුවෙක් ලෙසින් වඩාත් සාර්ථක වෙන්නේ කඩුලු රකින අත් ආවරණ ඉවත් කළ අවසන් තරගයේ දී. 

26 හැවිරිදි උපනායකයා

පොඩි කුසල්ට නම් මේ තරගාවලිය එතරම් ම හිතකර වෙන්නේ නැහැ. තරගාවලියේ තරග 3ක දී ඔහුට ලබා ගත හැකි වෙන්නේ ලකුණු 61ක් පමණයි. එහි තරගයක සාමාන්‍ය 20.3ක්. නමුත් ඔහු ඊට පෙර මෙරට දී පැවති බංග්ලාදේශ සංචාරයේ දී 61.0ක සාමාන්‍යයක් පවත්වා ගෙන යමින් දක්ෂතා දක්වනවා. ඒ වගේ ම ඊට පසුව පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් 64.4ක සාමාන්‍යයක් පවත්වා ගෙන යනවා. 

කොරෝනා අවුල 

මෙම තරගාවලිය ආරම්භ වන විට බංග්ලාදේශය ද කොරෝනා වයිරසය හේතුවෙන් විවිධ අඩම්තේට්ටම් විඳි රටක් ලෙසින් ප්‍රසිද්ධ වී තිබුණා. බංග්ලාදේශ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම ඒ වෙන විට ද කොරෝනා ආසාදිතයන් සේ හඳුනා ගෙන තිබුණා. නමුත් ඔවුන්ගේ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය මෙරට ආසාදිතයන් වඩා ප්‍රමාණවත් ව පහළ අගයක් ගත්තා. මේ තත්ත්වය යටතේ තරගාවලිය නිරුපද්‍රිතව පැවැත්වීමට ඔවුන් හැකි සෑම උත්සාහයක් ම ගත්තා. 

නමුත් නොපෙනෙන වයිරසයක් ගැන කුමන විශ්වාසයක් ද? ශ්‍රී ලංකා කණ්ඩායම එරට ට ගොඩ බැස පුහුණුවීම් ආරම්භ කරන්නට මත්තෙන් තටු ගසා එන්නේ නරක ආරංචියක්. ඒ එරට ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා Khaled  Mahmudට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති පුවතයි. 

ඒ වේගයෙන් ම ශ්‍රී ලංකාවේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සහ වේගපන්දු යවන්නන් ලෙසින් සංචාරයට එක් වූ ඉසුරු උදාන සහ ශිරාන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බැව් වූ වාර්තා බොහෝ දෙනෙක් සසල කළ පුවතක් වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරට ට පිවිසි දා සිට ඔවුන් ගැවසෙන පරිසරයන් හි දැඩි සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන යොදා තිබෙනවා. විශේෂයෙන් ම ඔවුන් ලැගුම්ගත් හෝටලය සේ ම තරග පැවති Shere Bangla ක්‍රීඩාංගණය ද ආවරණය වන පරිදි ජෛව ආරක්ෂිත බුබුලක් ලෙසින් නම් කර තිබුණා. එසේ වූවත් කොරෝනා වයිරසය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙත රිංගූ අපූරුව?

කෙසේ වෙතත් කරනු ලැබූ දෙවැනි PCR පරීක්ෂණයේ දී වාස් සහ ඉසුරු බේරුණ අතර ශිරාන්ට ඉන් ගැලවීමක් ලැබුණෙ නැහැ. ශිරාන් තව දුරටත් කොරෝනා ආසාදිතයෙක් ලෙසින් නම් කෙරුණ අතර සත්කාරක බංග්ලාදේශ ක්‍රිකට් පාලකයෝ තව තවත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් තර කරමින් තරගාවලිය පැවැත්වීමට ඒ කිසිවක් බාධාවක් නොවේ යැයි පවසමින් තරගාවලිය පැවැත්වීමට සියලු  ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළා. 

ඒ ලෙසින් පැවති තරගාවලිය අතර මග ශිරාන් මුහුණ දුන් තෙවැනි PCR පරීක්ෂණයේ දී ඔහු ආසාදිතයෙක් නොවන බැව් තහවුරු වූ  අතර ඒ වෙද්දී ඔහුට එක්දින තරගාවලිය අවාසනාවන්ත ලෙසින් මඟ හැරී ගියා.

ප්‍රසාද ලැයිස්තු ආක්‍රමණය කළ බංගලියෝ

තරගාවලිය ආරම්භයේ දී ම බංග්ලාදේශ ක්‍රීඩකයෝ ICC ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකාවට වඩා ඉහළින් ලැයිස්තු ගතව සිටියා. ඒ වෙද්දී බංග්ලාදේශය 6 වැනි ස්ථානයේ රැඳී සිටි අතර ශ්‍රී ලංකාව රැඳී සිටියේ 12 වැනි ස්ථානයේ. එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයේත්, බංග්ලාදේශය 7 වැනි ස්ථානයේත් රැඳී සිටියා. 

මෙය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේමීන් කලකිරීමටත්, ක්‍රිකට්වලට බැන වැදීමටත් හේතුවක් වුනා. නමුත් ඒ යටින් සෑම කෙනෙක්ගේ ම බලාපොරොත්තුව වූයේ බංගලි තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීමට ලැබුණ මහඟු අවස්ථාවක් බවයි. ඊට පෙර තරග ප්‍රතිඵල ද හේතු වුනා. 

මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අවසන් වරට හමු වී තිබුණේ 2019 වසරේ දී බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ මෙරට සංචාරයයි. එම තරගාවලියේ දී බංගලි ක්‍රීඩකයන්ට 3-0ක රිදෙන පරාජයක් හිමිකර දීමට අපේ ක්‍රීඩකයෝ සමත් වෙනවා. 

එමෙන් ම අපේ ක්‍රීඩකයෝ මීට පෙර බංග්ලාදේශ සංචාරයකට එක් ව තිබුණේ 2018 වසරේ දී. ඒ සිම්බාබ්වේ කණ්ඩායම ද සහභාගී වූ තුන්කොන් තරගාවලියකට. එම තරගාවලියේ ජයග්‍රහණය සතු වූයේ ශ්‍රී ලංකාවට. එමෙන් ම 1986 සිට දෙරට අතර පැවති එක්දින 48ක දී තරග 39ක ජයග්‍රහණ ශ්‍රි ලංකාව සතු වීමත් පෙර කී තත්ත්වයට හේතු වුනා. එම ලැයිස්තුවේ බංගලියන් සතුව තරග 7ක ජයග්‍රහණත් ඉතිරි තරග 2 විසඳුමකින් තොරව නිමා වූ තරග ලෙසත් ප්‍රකාශයට පත්ව තිබුණා. 

කෙසේ වෙතත් නිමා වූ තරගාවලියත් සමඟ බංගලියන් ගයන්නට තිබෙන වන්නම් සියල්ල ම වයා ගසන්නට තිබෙන කරම් සියල්ල ම ද ගසා ශ්‍රී ලාංකික සිහින සුනුවිසුනු කළා. වසර 35ක ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය ජය ගත් පළමු තරගාවලිය මෙයයි.

තරගාවලියේ පළමු තරගය අවසන් වන විට බංග්ලාදේශ ක්‍රීඩකයෝ ICC ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ සිව්වැනි තැනටත්, දෙවැනි තරගය අවසානයේ දී එහි පළමු ස්ථානයටත් ශ්‍රේණිගත වුනා. ඔවුන් ලබා ඇති ප්‍රසාද ලකුණු ප්‍රමාණය 50ක්. එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි තැන රටවල් 13ක් අතරින් 12 වැනි ස්ථානය. ලබා ඇති ලකුණු ප්‍රමාණය 8ක්. 

වනිඳුගේ තුන් ඉරියව් දක්ෂතා

නැවත වතාවක් ලෝබ නැතුව කතා කළ දක්ෂතාවන් පෑ කෙනෙක් වේ නම් ඒ 23 හැවිරිදි වනිඳු හසරංගයි. ඔහුගේ දක්ෂතා වඩාත් ඉස්මතු වූයේ පැවති පළමු තරගයේ දී. එහි දී ඔහු ලබා ගත් අර්ධ ශතකය වඩාත් වැදගත් වන්නේ කණ්ඩායම වැටි සිටි තත්ත්වයෙන් ගොඩ ගැනීමට ගත් උත්සාහය දැකීමෙන්.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හා කරට කර පිතිහරඹයේ යෙදුණ වනිඳුගේ ඉනිම කාලෙකට අමතක නොවන ඉනිමක් ලෙසින් ද හැඳින්විය හැකියි. එමෙන් ම පන්දු යවන්නෙක් ලෙසින් ද වූ වනිඳුගේ දක්ෂතා අනාගතයට කදිම ආයෝජනයක්. 

සම්මාන ලැබූ චමීරගේ වේගපන්දුව

29 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන දුෂ්මන්ත චමීර තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් අය අතර පෙරමුණ ගන්නේ තරග 3ක ලබා ගත් කඩුලු 9 හේතුවෙන්. ඔහු ඊට ජයග්‍රාහී අවසන් තරගයේ දී ලකුණු 16ට ලබා ගත් කඩුලු 5 ද ඇතුළත් කර ගන්නවා. එම දක්ෂතාව චමීරගේ එක්දින තරග දිවියේ මෙන් ම ලැයිස්තුගත ඕනෑම ආකාරයක හොඳම පන්දු යැවීම ද වෙනවා. 

ධනංජය ගැනත් බිඳක්

29 හැවිරිදි ධනංජය ද සිල්වා ද මෙවර නිමා වූ බංග්ලාදේශ තරග සංචාරයේ දී නැවත වතාවක් කතා බහට ලක්විය යුතු චරිතයක් බවට පත් වූවා. මැද පෙළ පිතිකරුවෙක් ලෙසින් අවසන් තරගයේ දී ලබා ගත් අර්ධ ශතකය ඔහුගේ දීප්තිය වැඩි කළා. පන්දු යවන්නෙක් ලෙසින් ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට ඔහු දක්වන දක්ෂතා ද අනාගතයට වඩාත් වැදගත් වේවි. 

25 හැවිරිදි නවකයෝ 

තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 1-2ක් ලෙසින් පරාජය වූව ද ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ අභිප්‍රාය අනුව නවක ක්‍රීඩකයෝ තිදෙනෙක්ගේ දක්ෂතා උරගා බැලීමට ඔවුන්ට හැකි වුනා. ඒ තවමත් 25 හැවිරිදි වියේ පසුවෙන රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න සහ  බිනුර ප්‍රනාන්දු යි.

තරගාවලිය ගැන ඔබේ අදහස කුමක් ද? පහළින් comment කරන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<