“ලංකාව පරාජය කරන්න ඉන්දීය ‘C’ කණ්ඩායම ප්‍රමාණවත්”

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

167

ලොව ඕනෑම කණ්ඩායමක් පරාජයට පත් කළ හැකි තරග ආකෘතීන් ත්‍රිත්වයටම අදාළව වෙන වෙනම සංචිත තුනක් එකවර නම් කිරීමේ හැකියාව මේ වන විට ඉන්දියාව සතුවන බවත්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා තරග සංචාරය ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන්ගේ තෙවැනි පෙළ කණ්ඩායමක් වූවත් ප්‍රමාණවත් බව හිටපු පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක Kamran Akmal සඳහන්කොට තිබුණේ ඊයේ (29) පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

එළඹෙන ජූලි මාසයේ එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරග 6කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය ටෙස්ට් සංචිතය දැනටමත් හොඳ සූදානමකින් පසුවන අතර එම කාලසීමාව තුල දී ම ඔවුන්ගේ සීමිත පන්දුවාර සංචිතය ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින තරග සංචාරය සඳහා නම් කිරීමට කටයුතු කොට තිබෙන්නේ දක්ෂතා අතින් ඉහළම මට්ටමේ පසුවන ක්‍රීඩකයින් රැසකගෙන් ඔවුන් සන්නද්ධ බව පැහැදිලි පණිවිඩයක් ක්‍රිකට් ප්‍රජාව වෙත ලබා දෙමිනි.

හිටපු ඉන්දීය පිතිකරු Rahul Dravidගේ මඟ පෙන්වීම යටතේ ආධුනික මට්ටමේ සිට වෘත්තීමය ක්‍රිකට් ක්ෂේත්‍රය දක්වා ක්‍රීඩකයින් රැක බලා ගැනීමේ ක්‍රමවේදයක් නිර්මාණය වී තිබීම මෙවැනි ප්‍රබල ස්ථානයකට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම රැගෙන ඒමට විශාල වශයෙන් දායක වී ඇති බව මෙහි දී Kamran අදහස් දක්වා තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

“ඉන්දියාව මේ වෙනකොට තරග ආකෘතීන් තුනේම ඔවුන්ගේ ක්‍රිකට් ආධිපත්‍යය පතුරලා අවසන්. ඉන්දීය ටෙස්ට් කණ්ඩායම එංගලන්තයේ තරග සංචාරය කරද්දී සීමිත පන්දුවාර කණ්ඩායමක් ලංකාවේ ක්‍රීඩා කරනවා කියන්නේ ඔවුන්ගේ  සංචිතවල ප්‍රබලත්වය ගැන ආයිත් අමුතුවෙන් අටුවා ටීකා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්දියාවේ ක්‍රිකට් සංස්කෘතිය කොච්චර ප්‍රබලයි ද කියනවා නම් ඔවුන්ට පුළුවන්කම තියෙනවා තරග ආකෘති තුනට කණ්ඩායම් තුනක් එකවර නම් කරන්න.’

“මම හිතන්නේ මේක එක රැයකින් ළඟා කරගත්ත ජයග්‍රහණයක් නෙමෙයි. ඔවුන් හැමදාමත් අවධානය යොමු කළා බිම් මට්ටමේ ඉඳන් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවන්න. Rahul Dravid BCCIයත් සමඟ එකතු වෙලා අවුරුදු හතක් අටක් පමණ කාලයක් කරපු දීර්ඝ කාලීන සැලසුම්වල ප්‍රතිඵලය තමයි අද මේ ඔවුන් අත්විඳින්නේ. ඊට අමතරව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට Ravi Shastri මහත්මයාත් තිරය පිටුපස ඉඳන් දැවැන්ත කාර්‍යභාර්‍යක් ඉන්දීය ක්‍රිකට් ප්‍රගමනය වෙනුවෙන් ඉටු කරලා තිබෙනවා.”

ප්‍රබල ක්‍රීඩකයින් බහුතරයක් ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා එක්නොවූවත් ඉන්දීය කණ්ඩායම සතුව තවමත් ඉතා උසස් මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් රැසක් සතුවන නිසාවෙන් ඔවුන්ගේ තෙවැනි පෙළ කණ්ඩායමකට වූවද වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීම එතරම් අභියෝගයක් නොවන බව Kamran මෙහි දී වැඩිදුරටත් පවසා සිටියේය.

“MS Dhoniගෙන් පස්සේ Virat Kohli මේ වෙනකොට ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හරියාකාරව ඉටු කරන බව අවිවාදයෙන්ම පිළිගත යුතුයි. Kohli කණ්ඩායමේ නැති අවස්ථාවල දී Rohit නායකත්වයේ වගකීම තමන්ගේ කරට අරගෙන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අවස්ථා ඕන තරම් අපි දැකලා තියෙනවා. Rohit නැති අවස්ථාවල දී  K.L.Rahul ඉන්නවා ඒ අඩුව පුරවන්න.”

“ලංකාව බංග්ලාදේශයටත් පරාද වුන එකේ මම හිතනවා ඉන්දියාවෙන් තෙවැනි පෙළ කණ්ඩායමක් යැවුවත් තරගාවලි දෙකම ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් ඔවුන්ට තියෙනවා කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<