නායක, උපනායක සුසංයෝගය ලොව හොඳම එක්දින පිතිකරුවන් දෙදෙනා අතරට

401

නවතම ICC එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී පළමු සහ දෙවන ස්ථානයන් තම නමින් වෙන්වා කරවා ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක Virat Kohli සහ උපනායක Rohit Sharma සමත් වී තිබෙන්නේ නිමාවට පත් වූ සීමිත පන්දුවාර තරගාවලි කිහිපය පුරාවට දියත් කළ අනගි පිතිහරඹයන්ගේ ප්‍රතිඵලයක් වශයෙනි. 

ඔවුන් දෙදෙනාට අමතරව සුපිරි ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah (700) එක්දින පන්දු යවන්නන්ගේ වර්ගීකරණයන් හී තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත්ව තිබෙන්නේ පසුගිය තරග වාරය පුරාවට අඛණ්ඩව කඩුලු අතර රැඳෙමින් දැක්වූ සුවිශේෂී දක්ෂතාවන් නිසාවෙනි.

Rohit Sharma හට පසුගිය දා නිමාවට පත් වූ ඕස්ට්‍රේලියා තරග සංචාරය මඟ හැරී ගිය නමුත් ශ්‍රේණිගත කිරීම්හී සිය ස්ථානය ආරක්ෂා කරගැනීමට සමත්ව තිබෙන්නේ සුපිරි පාකිස්තාන පිතිකරු Babar Azamට වඩා ප්‍රසාද ලකුණු 5ක පරතරයක් රඳවා ගනිමිනි. 

ඉන්දීය නායක Virat Kohli ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රියාත්මක කළ අවසන් ඉනිම ද්විත්වයේ දී ම අර්ධ ශතක කඩඉම පසුකොට යමින් පිළිවෙළින් ලකුණු 89ක් සහ 63ක් රැස් කිරීමට සමත් වූයේ ප්‍රතිවාදී පන්දු යවන්නන් හට දැවැන්ත හිසරදයක් බවට පත්වෙමිනි.

මොවුන් තිදෙනාට අමතරව නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන, ජාත්‍යන්තර තරග බිමේ අත්දැකීම් බහුල Ross Taylor සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක  පිතිකරු භූමිකාව මෙන්ම නායකත්වයේ වගකීම ද මැනවින් ඉටු කරන Aaron Finch යන දෙදෙනා ද ලොව දැනට සිටින හොඳම එක්දින පිතිකරුවන් පස්දෙනා අතරට ඇතුළත් වීමේ භාග්‍ය උදාකරගෙන තිබේ.

තවත් ක්‍රිකට් පුවත්:

අයර්ලන්ත කණ්ඩායමේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු Paul Sterling ද මෙවර  වර්ගීකරණයන් හී ස්ථාන 8කින් උසස් වීමක් හිමිකර ගැනීමට සමත්කම් දක්වා තිබෙන්නේ එම ලැයිස්තුවේ 20 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමේ වරම් තමන් සතු කරගනිමිනි.  

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති තරගාවලිය පුරාවට පිත්තෙන් දැක්වූ සුපිරි දක්ෂතාවන් ඔහුට මෙම උසස් වීම හිමිකර ගැනීමට නිසැකවම උපකාරී විය. පිට පිට ශතක ද්විතවයක් වාර්තා කිරීමට හැකි වීම ඒ අතරින් වඩාත් කැපී පෙනුණි.

පන්දු යවන්නගේ වර්ගීකරණ ලැයිස්තුවේ පෙරමුණ නවසීලන්ත වමත් වේගපන්දු යවන ක්‍රීඩක Trent Bolt (722) හිමිකර ගනිද්දී ඔහුට පමණක් පසුපසින් රැඳෙමින්  වෙමින් එම සටහනෙහි දෙවන ස්ථානය වෙන් කරවා ගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Mujeeb Ur Rahman (701) හට හැකිව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් සාර්ථක තරගාවලියක අවසානය සනිටුහන් කළ Mehedi Hasan Miraz පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙන්නේ තරගාවලිය පුරාවට කඩුලු 7ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කරගනිමිනි. 

ඔහුට වඩා එක් කඩුල්ලක් පසුපසින් සිටින වමත් වේගපන්දු යවන ක්‍රීඩක Mustafizur Rahman වර්ගීකරණයන්හී අටවැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙන්නේ තරගාවලිය පුරාවට ප්‍රතිවාදී ක්‍රීඩකයින් 6 වතාවක් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යවමිනි. 

මොවුන් දෙදෙනාට අමතරව වර්ගීකරණ සටහන්හී උසස්වීම් හිමිකර ගැනීමට සමත් වූ සෙසු බංග්ලාදේශ ක්‍රීඩකයින් අතර සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Shakib Ul Hasan  සහ කඩුලු රකින Mushfiqur Rahim පසුවන්නේ පළමු සහ තෙවැනි එක්දින තරගයන්හී දැක්වූ කැපී පෙනෙන දස්කම් නිසාවෙනි. ඒ අනුව Shakib පන්දු යවන්නගේ සටහනේ 13 වැනි ස්ථානයත්, Rahim පිතිකරුවන්ගේ නාමාවලියේ 15 වැනි ස්ථානයත් දිනා ගැනීමට සමත්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<