විනය විරෝධී හැසිරීම නිසා Tamim Iqbalට දඩ

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය 2021

169

ශ්‍රී ලංකා බංග්ලාදේශ තුන්වැනි එක්දින තරගය අතරතුර විනිසුරුවන් හා කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ නායක Tamim Iqbal හට තරග මුදලින් 15%ක දඩයක් පැනවීමට තරග තීරකවරයා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව Tamim Iqbal හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් නීති රීති වලට අදාලව පළමු මට්ටමේ චෝදනාවක් එල්ල වී තිබෙනවා. Tamim Iqbal පසුගිය වසරේ මාර්තු මාසයේ දී බංග්ලාදේශ නායකත්වයකට පත්වූ අතර ඔහුට නායකත්වයකට පත්වීමෙන් අනතුරුව මෙවන් දඩ මුදලක් නියම වූ පළමු අවස්ථාව මෙය වනවා. Tamim Iqbal ක්‍රීඩකයෙකු ලෙස මෙලෙස දඩ මුදලකට යටත් වූයේ මාස 24කට පසු වීමත් විශේෂත්වයක්.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වැනි එක්දින තරගයේ දී බංග්ලාදේශ මුල් කඩුලු දෙකම ලකුණු 9ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා. ඉන් අනතුරුව පිටියේ එක්වූ Mushfiqur Rahim සහ Tamim Iqbal බංග්ලාදේශ ලකුණු පුවරුවට ලකුණු 19ක් එක්කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් බංග්ලාදේශ ඉනිමේ 9 වැනි පන්දුවාරය තුළ Tamim Iqbal ලබා දුන් උඩපන්දුවක් සාර්ථකව රැකගැනීමට නිරෝශන් දික්වැල්ල සමත් වුනා. එහි දී විනිසුරුවරයා විසින් එය දැවී යාමක් ලෙස සංඥා කළා. කෙසේ වෙතත් Tamim Iqbal එය අභියෝගයට ලක් කරමින් තුන්වැනි විනිසුරු වෙත යොමු කළා. 

ඒ අනුව පුනරූපන සහ Ultra-Edge තාක්ෂණය උපයෝගී කරගත් තුන්වැනි විනිසුරු එය දැවී යාමක් බව ස්ථීර කිරීමට කටයුතු කළා. ඉන් අනතුරුව තරමක කලහකාරී ලෙස හැසිරුණු Iqbal පිටියෙන් නික්ම ගියේ අසභ්‍ය වචන කීපයක් ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි. Tamim Iqbal එම තරගයේ දී රැස්කළේ ලකුණු 17ක් පමණයි.

මේ අනුව තරගයෙන් අනතුරුව තරග තීරකවරයා ලෙස කටයුතු කළ Neeyamur Rashid විසින් බංග්ලාදේශ නායකයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රීඩක නීති සංග්‍රහයේ 2.3 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බව තීරණය කර තිබුණා. ඒ අනුව “ජාත්‍යන්තර තරගයක් අතරතුර ප්‍රසිද්ධියේ අසභ්‍ය වචන භාවිතා කිරීම” යන චෝදනා යටතේ Tamim Iqbal වැරදිකරු වන බව තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් තම දැවී යාම කිසිසේත්ම පිළිගැනීමට සූදානම් නොමැති බව Tamim Iqbal තරගයෙන් අනතුරුව පැවති සාකච්ඡාවක දී පවසා තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

“මම ගොඩක් කනගාටු වෙනවා ඒ දැවී යාම ගැන. මට 100%ක් විශ්වාසයි ඒ වෙලාවේ පන්දුව මගේ පිත්තේ වැදුණේ නැහැ කියලා. පන්දුව මගේ පිත්තේ වදින වෙලාවේ පිත්ත බිම වැදුණා. මම හිතන්නේ ඒ වෙලාවේ තරගයේ විනිසුරුවරයා ඒ දැවී යාම ලබා දුන්නේ නැත්නම් මේ තීරණය වෙනස් වෙන්න තිබුණා” එහි දී Tamim Iqbal පවසා සිටියා.

තමන්ට එල්ල වූ මෙම චෝදනාව සම්බන්ධයෙන් තමා වැරදිකරු බව Tamim Iqbal විසින් පිළිගෙන ඇති අතර අදාළ දඬුවම සඳහා ද ඔහු එකඟ වී තිබෙනවා.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් අවශ්‍ය නොවන බව තරග තීරකවරයා වූ Neeyamur Rashid තහවුරු කර තිබෙනවා.

Tamim Iqbal හට එල්ල වූ මෙම චෝදනා සහ අදාළ දඬුවම තරගයේ විනිසුරුවන් වූ Sharfuddoula Ibne Shahid, Tanvir Ahmed, තුන්වැනි විනිසුරු වූ Gazi Sohel සහ සිව්වැනි විනිසුරු වූ Masudur Rahman විසින් ස්ථීර කර තිබෙනවා. ඒ අනුව Tamim Iqbal හට තරග මුදලින් 15%ක දඩයක් ගෙවීමට සිදු වන අතර ඔහුගේ විනය ලකුණු සඳහා එක් ලකුණක් එක් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායම සමඟින් පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 97කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ICC ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අදාලව පැවති මෙම තරගාවලියේ ජයග්‍රහණය හිමි වුනේ බංග්ලාදේශ කණ්ඩායමටයි. එය බංග්ලාදේශය ශ්‍රී ලංකාව හමුවේ වාර්තා කළ පළමු තරගාවලි ජයග්‍රහණය ලෙස ඉතිහාසගත වුනා.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<