මලල ක්‍රීඩා සංවර්ධන දැක්ම මාසයක් ඇතුළත

298
AASL

මෙරට මලල ක්‍රීඩාවේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ විශේෂ හමුවක් නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ජාතික මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන් අතර පසුගිය දා පැවැත්විය.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ හමුව සඳහා රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, මලල ක්‍රීඩා පුහුණුකරු වයි. කේ. කුලරත්න ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි සිටි අතර එහි දී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරි පස් අවුරුද්ද සඳහා වන මලල ක්‍රීඩා සංවර්ධන දැක්ම මාසයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්ට ප්‍රකාශ කර තිබුණි.

එහි දී මලල ක්‍රීඩාවේ යටිතල පහසුකම් පිළිබඳව ද අවධානය යොමු කළ ක්‍රීඩා අමාත්‍යවරයා මීටර් 100ක දුරකින් යුත් කෘතීම කෙටි දුර ධාවන පථ කිහිපයක් ද දිවයිනේ තෝරාගත් ක්‍රීඩාංගණ කිහිපයක දී ඉදි කර දීමට තමන් මැදිහත් වන බව මලල ක්‍රීඩා සංගමයට ප්‍රකාශ කර තිබුණි.

ඔලිම්පික් පදක්කම් දෙකක් ද සමඟින් ජාත්‍යන්තර තලයේ තරගාවලිවල දී මෙරටට වැඩිම පදක්කම් දිනා දුන් මලල ක්‍රීඩාව මෙරට හිමිකරගෙන ඇති සුවිශේෂී තත්වය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට පැහැදිලි කරමින් එහි ඉදිරි දැක්ම සඳහා නව යෝජනාවලියක් ද එතුමා වෙත ඉදිරිපත් ඇති අතර මලල ක්‍රීඩාවේ ඉදිරි ප්‍රවර්ධනය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළම දායකත්වය ලබා දීමට තමන් කටයුතු කරන බව ද එහි දී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි.

තවත් මලල ක්‍රීඩා පුවත්

තවද මලල ක්‍රීඩා පුහුණුවීම් සිදු කරන ක්‍රීඩාංගණවල පවතින තත්වය පිළිබඳව ද මලල ක්‍රීඩා නිලධාරීන් විසින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර ඇති අතර එම ක්‍රීඩාංගණවල පවතින අසතුටුදායක තත්වයන් සහ අලුත්වැඩියා කිරීම් පිළිබඳව සිය අවධානය යොමු කර සිටින බව ද එතුමා ප්‍රකාශ කර තිබුණි.

මීට අමතරව 2022 වසරට යෙදෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ශත වර්ෂ සංවත්සරය සැමරීම සඳහා වන උත්සවයක් සංවිධානය කිරීමට දෙපාර්ශවය අතර සිදු කළ සාකච්ඡාවේ දී අවධානය යොමු වී ඇති අතර එය පිළිබඳව සාකච්ඡා කිරීමට නැවත හමුවක් පවත්වන බවට ද ක්‍රීඩා අමාත්‍යවරයා එකඟ වී තිබුණි.

ලංකාදීප පුවත්පතේ කෙළිමඬල වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරිණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<