චෙන්නායි සුපිර් කිංග්ස් කබලෙන් ලිපට; රයිනා නැවතත් ඉන්දියාවට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

447
Suresh Raina

IPL ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා පිටව ගිය සුරේෂ් රයිනා පුද්ගලික හේතුවක් මත නැවතත් ඉන්දියාවට පැමිණ ඇත. ඒ නිසාවෙන් ඔහුට මෙවර IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි බව මාධ්‍ය වාර්තා කරයි.

UAE ගිය චෙන්නායි ක්‍රීඩකයින්ට කොරෝනා!

වයස අවුරුදු 33ක් වන රයිනා පසුගිය දා මහේන්ද්‍ර සිං දෝනි සමඟම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සඳහා සමුදුන් අතර චෙන්නායි සංචිතය අගෝස්තු මස 21 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පැමිණියේය. එසේම චෙන්නායි කණ්ඩායම එක්සත් අරාබි එමීරි රාජ්‍යයට පැමිණීමට පෙර ඉන්දියාව තුල දින හයක පුහුණු කඳවුරක් පවත්වා ඇති අතර ඒ සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේන්ද්‍ර සිං දෝනි, සුරේෂ් රයිනා, දීපක් චහාර්, අම්බති රයිදු, පියුෂ් චවුලා, මුරලි විජේ, ශර්දුල් ථාකූර් වැනි ක්‍රීඩකයින් මෙන්ම ලක්ෂපති බලාජි ද පන්දු යවන පුහුණුකරු ලෙස එම පුහුණු කඳවුර සඳහා එක්ව තිබේ.

තවද ඊයේ (28) දිනයේ දී තරගාවලිය සඳහා සහභාගී වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහ සහයක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව PCR පරීක්ෂණ හරහා තහවුරු වී ඇත. ඒ නිසාවෙන් ඔවුන්ගේ කණ්ඩායම සඳහා පනවා තිබෙන නිරෝධායන කාලය වැඩි කිරීමට තර සංවිධායකයින් හට සිදුව ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසය තුල තෙවරක් ශූරතාව දිනා ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට මේ සියලු කරුණු කාරනා සලකා බැලීමේ දී මෙවර තරගාවලිය දැඩි අසීරු තරගාවලියක් වනු ඇත.

ඔවුන්ගේ කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කරන රයිනා IPL තරග ඉතිහාසය තුල තරග 164ක දී ලකුණු 4527ක් ලබාගෙන ඇති අතර ඉන් තරග 158ක දී ම (IPL + CPL) චෙන්නායි කණ්ඩායම නියෝජනය කර ඇත. එසේම පාදයේ ඇතිවූ මස්පිඩු ඇදීමක් නිසාවෙන් ද රයිනා හට 2018 වසරේ IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<