බංග්ලාදේශ කණ්ඩායමේ අධ්‍යක්ෂකට කොරෝනා

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය 2021

196

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා වන Khaled Mahmud හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඔහු මේ වන විට සිය නිවසේ ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා. 

හිටපු බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන Khaled Mahmud මේ වන විට 49 හැවිරිදි වියේ පසුවනවා. Khaled Mahmud බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය සඳහා කණ්ඩායම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අතර එළඹෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය සඳහා ද කණ්ඩායම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණා. Khaled Mahmud ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කරනවා.

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය නිමා කිරීමෙන් අනතුරුව නැවත බංග්ලාදේශය වෙත පැමිණි පසු ඔවුන්ට PCR පරීක්ෂණ දෙකක් සිදු කර තිබුණා. Khaled Mahmud එම පරීක්ෂණ දෙක සඳහාම සහභාගී වී ඇති අතර එහි දී ඔහුට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබුණා.

කෙසේ වෙතත් පසුව සිදු කළ PCR පරීක්ෂණයක දී ඔහුට වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයෙකු තහවුරු කර තිබුණා.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම රාමසාන් උත්සවයෙන් අනතුරුව පසුගිය මැයි 18 වැනිදා පුහුණුවීම් ආරම්භ කළා. කෙසේ වෙතත් Khaled Mahmud ඒ සඳහා සහභාගී වූයේ නැහැ. 

ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන යටතේ ජෛව ආරක්‍ෂිත වටපිටාවක් නිර්මාණය කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා. ඒ සඳහා Shere Bangla ක්‍රීඩාංගණය සහ ක්‍රීඩකයන් රැඳී සිටින හෝටලය ද ඇතුළත් වනවා. එක්දින තරගාවලිය සඳහා තරග 3ක් ඇතුළත් වන අතර එම තරග සියල්ල Shere Bangla ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මැයි 16 වැනිදා බංග්ලාදේශය වෙත ළඟා වූ අතර ඉන් අනතුරුව ඔවුන් දින 3ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වුනා. ඔවුන් බංග්ලාදේශය වෙත යාමට පෙර ද දින 3ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු වී තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරමඟ අවලංගු කිරීමෙන් අනතුරුව එම තරගාවලිය සඳහා සහභාගී වූ බංග්ලාදේශ ක්‍රීඩකයන් වන Shakib Al Hassan සහ Mustafizur Rahman නැවත බංග්ලාදේශය වෙත පැමිණි අතර ඔවුන් දින 11ක අනිවාර්ය නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පසුගිය දා කණ්ඩායම සමඟින් එක්වුනා.

බංග්ලාදේශය පසුගිය අප්‍රේල් මාසයේ සිට දරුණු කොරෝනා රැල්ලකට මුහුණ දුන් අතර ඔවුන් රට සම්පූර්ණයෙන් වසා දමා එය යම්තාක් දුරකට පාලනය කිරීමට සමත් වුනා. ඒ අනුව පසුගිය පැය 24ක කාලය තුළ එරටින් නව ආසාදිතයින් 1504ක් වාර්තා වූ අතර මරණ 26ක් වාර්තා වුනා. එය පසුගිය මාසය හා සසඳන විට කැපීපෙනෙන අඩුවීමක් වනවා.

Khaled Mahmud බංග්ලාදේශ කණ්ඩායමේ තුන්වැනි ටෙස්ට් නායකයා වන අතර ඔහු 1998 වසරේ සිට 2006 වසර දක්වා බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කළා. එහි දී ඔහු ටෙස්ට් තරග 12කට සහ එක්දින තරග 77කට ක්‍රීඩා කර තිබුණා. එහි දී එක්දින කඩුලු 67ක් සහ ටෙස්ට් කඩුලු 13ක් ලබා ගැනීමට Khaled Mahmud සමත් වුනා. පිතිකරණයේ දී ඔහු එක්දින ලකුණු 266ක් සහ ටෙස්ට් ලකුණු 991ක් වාර්තා කර තිබුණා.

Khaled Mahmud ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුල වඩාත් කතාබහට ලක්වුනේ 1999 වසරේ ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය තුළ පාකිස්තාන කණ්ඩායම පරාජය කළ තරගයේ දීයි. එහි දී ඔහු තරගයේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වුනා. එම තරගයේ දී ඔහු ලකුණු 27ක් වාර්තා කරමින් කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව Khaled Mahmud පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ අතර ඔහු පසුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමඟින් එක්වුනා. Khaled Mahmud 2013 වසරේ සිට බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබනවා.

කෙසේ වෙතත් ඔහුට වයිරසය ආසාදනය වීම ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගාවලිය සඳහා බලපෑමක් ඇති නොකරන බව වාර්තා වනවා. ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය එළඹෙන 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ESPNcricinfo වෙබ් අඩවිය ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<