LPL ක්‍රීඩක වෙන්දේසිය කල් යයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

115
Lanka Premier League

එළඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය (Player draft) හෙට (5) පැවැත්වීමට තිබුණු නමුත්, එය එළඹෙන 9 වැනිදා දක්වා කල් දැමීමට තරගාවලි සංවිධායකයින් තීරණය තිබෙනවා.

දීපවාලී උත්සව සමය තුල මෙම ක්‍රීඩක කෙටුම්පත්කරණය පැවැත්වෙන නිසාවෙන් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව මෙය කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා.

අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක තෝරා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් පහේ හිමිකරුවන්, පුහුණුකරුවන්, හෝ කණ්ඩායම් හිමිකාරිත්වය විසින් නම් කරනු ලබන පිරිසක් විසින් එම ක්‍රීඩක තෝරා ගැනීම සිදු කරනු ලබයි.

ඒ අනුව මෙවර තරගාවලියේ විදේශීය ක්‍රීඩකයින් 300 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 300 දෙනෙකු වශයෙන් සමස්ත ක්‍රීඩකයින් 600 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි.

දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි තරගාවලියේ මූලික වටයේ තරග 20 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ද, අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වෙනු ඇත.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<