ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් 2021/22

248

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කළ ක්‍රීඩක ගෙවීම් සහිත කොන්ත්‍රාත් සඳහා අත්සන් කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් විසින් පත්කරන ලද ඔවුන්ගේ නිල නියෝජිතවරයා වන නීතීඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා. 

එම නිවේදනයේ උපුටාගැනීම් මෙසේයි. 

“ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව විසින් 2021 වසරේ මැයි මස 19 වන දින පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවනු ලබන කොන්ත්‍රාත් ගාස්තු පිළිබඳ තොරතුරු මහජනයාට මුදා හැරීම පිළිබඳව ක්‍රීඩකයින් කම්පනයට හා කලකිරීමට පත්ව සිටිනවා. තවද, වෙනත් රටවල ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඉපැයීම් පිළිබඳව සැලකීමකින් තොරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමස්ත ඉපැයීම් සහ ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත නිලධාරින් සහ පරිපාලකයින්, පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලයට කරනු ලබන ගෙවීම් අනාවරණය නොකර ඒක පාර්ශවිකව මෙලෙස ක්‍රීඩක ගෙවීම් පිළිබඳව හෙළිදරව් කිරීම ද ඔවුන්ගේ කලකිරීමට හේතුවී තිබෙනවා. යම් ආයතනයක් විසින් එලෙස සංවේදී තොරතුරු ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත නිවේදනය කිරීම කනස්සල්ලට කරුණකි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් හි කළමනාකරණ කමිටුවේ මෙම ක්‍රියාකලාපය ක්‍රීඩකයන්  දැඩි ලෙස හෙළාදකින අතර එය ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට සහ ආත්ම විශ්වාසය සඳහා දැඩි බලපෑමක් සිදුකරන බව ඔවුන්ගේ මතයයි. තවද, මෙම ගෙවීම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම් සෑම ක්‍රීඩකයෙකුගේම ආරක්ෂාව සඳහා බරපතල බලපෑමක් එල්ල කරනු ලබනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ මෙම වාර්ෂික කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් සිදුකෙරුනු සාකච්ඡා වලදී, සෑම විටම ක්‍රීඩකයන්ගේ ස්ථාවරය වූයේ ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් නිසි විනිවිද පෙනෙන කාර්ය සාධනයක් මත පදනම් වූ ආකෘතියකට එකඟ වන බවයි. එහිදී සෑම ක්‍රීඩකයෙකුම වෙන් වෙන් වශයෙන් තක්සේරු කර කාර්ය සාධන ලක්ෂණ මත වර්ගීකරණය කිරීම සම්බන්ධයෙන්ද ඔවුන් එකඟතාවය පළකර තිබුනා.  කෙසේවෙතත්, වර්ගීකරණයට අදාළව ලකුණු වෙන්කර ඇති ආකාරය පිළිබඳ තොරතුරු තමන්ට ලබාදෙන මෙන් ක්‍රීඩකයන් කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා සිටියා. එවැනි ඉල්ලීමක් හමුවේ ක්‍රීඩකයන්ගෙන් කිසිවෙකුටත් කාර්ය සාධන නිර්ණායක වූ යෝග්‍යතාවය, නායකත්වය සහ වෘත්තීයභාවය යටතේ ලකුණු ප්‍රදානය කළ ආකාරය දැක්වෙන තනි තක්සේරු පත්‍රිකා ලබා දී නොමැති වීමද ක්‍රීඩකයන්ගේ අවධානයට යොමුව තිබෙනවා.

කළමනාකරණ කමිටුව, පුහුණුකරු සහ තේරීම් කමිටුව මේ දක්වා එවැනි තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ සඳහා නිශ්චිත හේතුවක් ද ඔවුන් විසින් දක්වා නැහැ. වර්ගීකරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කිරීම සඳහා එක් එක් ක්‍රීඩකයාගේ තක්සේරු ලකුණු පිළිබඳව ක්‍රීඩකයින් දැනුවත් විය යුතු බව සියලු ක්‍රීඩකයින්ගේ අදහසයි.  මෙමඟින් ක්‍රීඩකයන්ට ඔවුන් වර්ගීකරණය කර ඇති ආකාරය නිශ්චය කර ගැනීමටත්, එක් එක් ක්‍රීඩකයාට ඔවුන්ගේ දුර්වලතා පිළිබඳව අවධානය යොමු කිරීමටත් අවස්ථාව සැලසෙනවා. එවැනි තොරතුරු අනාවරණය කිරීමට අපොහොසත් වීම ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයන් අතර මතභේදාත්මක තත්ත්වය ඇති කරනු ලබන අතරම පක්ෂග්‍රාහී වීම සහ අනුග්‍රහය සම්බන්ධයෙන් සාධාරණ සැකයක්ද මතු කරනවා. එමෙන්ම එය සමස්ත ක්‍රියාවලියේම වලංගුභාවය පිළිබඳවද සැක මතු කරනවා. 

ක්‍රීඩක කොන්ත්‍රාත් සම්බන්ධයෙන් දැනට පවතින සාකච්ඡා අවසන් වී නොමැති සහ කොන්ත්‍රාත් විධිමත් ලෙස අවසන් කර නොමැති තත්වයක් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව අසාධාරණ ලෙස හදිසියේම මෙම වාර්ෂික කොන්ත්‍රාත්තු වල දෘඩ පිටපත් ක්‍රීඩකයන්ට ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම ගැන ක්‍රීඩකයින් දැඩි පුදුමයකට පත්ව සිටිනවා. එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් බංග්ලාදේශයට යාමට පැය කිහිපයකට පෙර ක්‍රිකට් ආයතනය විසින් මෙම කොන්ත්‍රාත් සඳහා ක්‍රීඩකයන්ගේ අත්සන ලබා ගැනීමට ද උත්සාහ කර තිබුනා. මෙම අවස්ථාවේ දී ක්‍රීඩකයන් විසින් ඉදිරිපත් කළ අවශ්‍යතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විසඳා නොතිබූ අතර, කොන්ත්‍රාත්තු වල නෛතික විධිවිධාන විධිමත් කර තිබුනේ නැහැ. 

FICA (ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනය – Federation of International Cricketers’ Association) වෙතින් ලැබුනු තොරතුරු වලට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉදිරිපත් කර ඇති මෙම නව ගෙවීම් අනෙකුත් රටවල් හා සැසඳීමේ දී (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉපැයීම් හා සැසඳිය යුතු යැයි සැලකෙන ඉපැයීම්) සැලකිය යුතු ලෙස අඩු (තුන් ගුණයකින් අඩු) වීම සැලකිය යුතු කරුණක් වනවා. ක්‍රිකට් කළමනාකරණ කමිටුව විසින් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් තොරතුරු නිකුත් කිරීමේ දී මෙම කරුණු කිසිඳු ආකාරයකින් සමථයකට පත්කිරීමට උත්සාහ නොකිරීම ක්‍රීඩකයන්ට කනගාටුවට කරුණක් වී තිබෙනවා.  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙවන ලද මුදල් පසුගිය වසර තුළ අඩු වී නැති බවත්, ඊළඟ වසර සඳහා එහි අඩු කිරීමක් විය හැකි බවට පුරෝකථනය කර නොමැති බවත් FICA සනාථ කර තිබෙනවා. 

තවද, අනෙකුත් බොහෝ ක්‍රිකට් ආයතනය වල ක්‍රියාත්මක වන ආකාරයට අදාළ ක්‍රිකට් ආයතනයේ ඉපැයීම්වලින් ක්‍රීඩකයන්ට යම් ප්‍රතිශතයක් ලබා දී ඇති බව FICA විසින් සනාථ කරන අතර, ක්‍රිකට් ආයතනයේ ඉපැයීම් පිළිබඳව ක්‍රීඩකයන්ට සහ අදාළ ක්‍රීඩක සංගම් වලට අනාවරණය කරනු ලබනවා.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර කිහිපය තුළ දේශීය හා විදේශීය පුහුණුකරුවන් සඳහා සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ගෙවා තිබෙනවා. (මසකට රුපියල් මිලියන 7කට ආසන්න වැටුපක්). එවන් වටපිටාවක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත කරනු ලබන ගෙවීම් ප්‍රසිද්ධියට පත්කිරීමේ දී ඉහත කරුණු පිළිබඳව ද ප්‍රසිද්ධ කළ යුතු බව ක්‍රීඩකයන්ගේ මතයයි. අනෙකුත් ක්‍රිකට් ආයතන පිළිබඳව සඳහන් කරන FICA ආයතනය විසින් එම ක්‍රිකට් ආයතන විසින් ක්‍රීඩකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ප්‍රකාශයට පත්කර තිබෙනවා. කෙසේවෙතත් ශ්‍රී ලංකාව තුළ එවැනි විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිහිටුවා නැහැ. 

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පහත වැටී ඇති බව ක්‍රීඩකයින් පිළිගන්නා අතර ක්‍රීඩාව සඳහා පරිපාලනය සහ වෙනත් පාර්ශවකරුවන් ගණනාවක් සම්බන්ධ වී සිටින විට එහි වගකීම ක්‍රීඩකයන්ට පමණක් යොමුකළ නොහැකි බව ඔවුන්ගේ මතයයි. ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2012 වසරේ සිට පසුගිය වසර දක්වා නොපැවැත්වීමට ක්‍රිකට් ආයතනය ගත් තීරණය මෙන්ම මෙරට තුළ ක්‍රියාත්මක වන ක්‍රීඩා සමාජ සංඛ්‍යාව, ආරම්භක සංඛ්‍යාව වූ 12 සිට 24 දක්වා දෙගුණයක් බවට පත්වීමත් මෙයට හේතුවී තිබෙනවා. එමෙන්ම පළාත් තරගාවලි විටින් විට පැවැත්වීම ද මෙම කඩාවැටීම සඳහා හේතුවූ බව ක්‍රීඩකයන් විශ්වාස කරනවා. 

ඒ අනුව මෙම අසාධාරණ හා විනිවිද භාවයකින් තොර ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයන් එකඟ නොවන අතර ක්‍රීඩකයින්ට ඒ සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙස සහ ක්‍රීඩකයන්ට එවැනි අවසාන නිගමන ලබා නොදෙන ලෙස ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටී. මෙවැනි ආරවුල් ඇති වූ විට වෙනත් රටවල ක්‍රිකට් ක්‍රීඩකයින් විදෙස් තරගාවලි සඳහා සහභාගී වන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිසිවෙක් එවැනි දේ සඳහා යොමු නොවන බව තහවුරු කර සිටිනවා. සියලු ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීම ඔවුන්ගේ ප්‍රමුඛතාවය ලෙස සලකනු ලබනවා. ඒ අනුව මෙම තත්ත්වය පිළිබඳව සලකා බලා ක්‍රීඩකයන්ගේ විශ්වාසය ගොඩනැගීම සඳහා කටයුතු කරන ලෙසත්, සියලු කාරණා සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසත්, වර්තමාන ආරවුල විසඳීමේ අරමුණින් ක්‍රීඩකයන්ගේ ඉල්ලීම් සඳහා පූර්ණ ලෙස විසඳුම් ලබා දෙන ලෙසත් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ පරිපාලකයින්ගෙන් ඉල්ලා සිටිනවා. 

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රිකට් ආයතනය සඳහා තේරී පත්වූ නව සභාපති වෙත සිය උණුසුම් සුබපැතුම් එක්කර සිටිනවා. මෙම කරුණු සඳහා හැකි ඉක්මණින් සාධනීය විසඳුම් ලැබෙනු ඇති බවත් ඔවුන් තරයේ විශ්වාසය පළකර සිටිනවා.”

– නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න 

නීතීඥ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නියෝජිත 

නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, කුසල් පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, නිරෝශන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න, දුශ්මන්ත චමීර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, අශේන් බණ්ඩාර සහ අකිල ධනංජය යන ක්‍රීඩකයන්ගේ නිල නියෝජිතවරයා ලෙස කටයුතු කරනු ලබනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<