ශ්‍රී ලංකා සංචාරයේ ඉන්දීය නායකත්වයට ද්වන්ද සටනක්

156

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සඳහා ද්වන්ද සටනක් නිර්මාණය වී තිබෙනවා. ඒ Shikhar Dhawan සහ Hardik Pandya අතරයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා තරග 3ක් ද, එක්දින තරගාවලිය සඳහා තරග තුනක් ද ඇතුළත් වනවා. මෙම තරගාවලිය ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය ටෙස්ට් කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සහ එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සූදානම් වන නිසා ශ්‍රී ලංකා තරගාවලිය සඳහා ටෙස්ට් සංචිතයේ කිසිදු ක්‍රීඩකයෙකු සහභාගී නොවන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා තහවුරු කළා. ඒ අනුව සුපුරුදු ඉන්දීය නායකයා වන Virat Kohli ද මෙම තරගාවලිය සඳහා සහභාගී වන්නේ නැහැ. 

ඒ අනුව ඉන්දීය පසුපෙළ කණ්ඩායම ශ්‍රී ලංකා තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි. මෙයට එක්දින සහ විස්සයි විස්ස තරග රටාව තුල ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වනවා. මෙම තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය Shreyas Iyer හට හිමිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියා. නමුත් එම කාලය තුල ඔහුගේ ආබාධය සුව නොවුනහොත් ඉන්දීය කණ්ඩායමේ නායකත්වය Shikhar Dhawan හෝ Hardik Pandyaට හිමිවනු ඇති. 

“අපිට තවමත් තහවුරු කරන්න බැහැ Shreyas Iyer සුව වේවි ද කියලා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අපි නිරන්තරයෙන් සොයා බලමින් ඉන්නවා. ඔහුගේ ශල්‍යකර්මය ගැන බැලුවම ඒ වගේ මට්ටමක ශල්‍යකර්මයක් සුව වෙන්න ගොඩක් කල් යනවා. ඔහු නැවත සම්පූර්ණයෙන්ම සූදානම් වෙන්න දීර්ඝ කාලයක් පුහුණුවීම් කරන්න ඕනේ. අවම මාස 4ක් වත්” ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් PTI වාර්තා කළා.

“Shreyas සුව වෙලා මේ තරගාවලියට සහභාගී වෙනවා නම් කණ්ඩායමේ නායකත්වය ඔහුට හිමි වෙනවා. Shreyas නැත්නම් අපිට නායකත්වයකට තවත් විකල්ප දෙකක් තියනවා. එක Shikhar Dhawan. ඔහු නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දක්වන්න සමත් වුනා. අනික් කෙනා Hardik Pandya. ඔහු තරග දිනවන්නෙක් විදිහට කණ්ඩායමට ලොකු සේවයක් කළා.”

“Shikhar ගත්තම මේ වෙද්දී හොඳ රිද්මයක ඉන්නවා. ඒ වගේම දැන් කණ්ඩායමේ ඉන්න ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා ඔහු. පසුගිය අවුරුදු 8ක කාලය තුල ඔහු කණ්ඩායමට විශාල සේවයක් කළා.” 

Hardik Pandya ඉන්දීය කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන අතර ඔහු ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් තරග රැසක දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. ඉන්දීය නායකත්වයකට මීළඟ සුදුස්සා වන්නේ ඔහුයි.

තවත් ක්‍රිකට් පුවත්:

අවිශ්ක ගුණවර්ධන සියලු චෝදනාවලින් නිදහස්

Piyush Chawlaගේ පියා ජීවිතක්ෂයට

ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියක් ජූලි මාසයේ දී

ධනංජය ලක්ෂාන් සහ ඉෂාන් ජයරත්නට කොරෝනා

තෙවැනි පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය නවතා දමයි

“පසුගිය කාලය තුල Hardik Pandya ඉන්දීය කණ්ඩායමේ හෝ Mumbai Indians හි නිත්‍ය පන්දු යවන්නෙක් වුනේ නැහැ. ඒත් අපි විශ්වාස කරනවා ඔහු තමයි තරගයක X සාධකය කියලා (X Factor). කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් බලපෑමක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් ඔහු. සමහර විට අතිරේක වගකීමක් එක්ක ඔහුගේ දක්ෂතාවය අපිට බලා ගන්න පුළුවන් වේවි.” 

ඉන්දීය කණ්ඩායම පසුගිය දා නිමා කළ එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා Hardik Pandya ඇතුළත්ව සිටියා. කෙසේ වෙතත් එම තරගාවලිය තුල ඔහු පන්දු යැවීමට සමත් වුනේ නැහැ. සීමිත පන්දුවාර තරගවල දී ඔහුගෙන් පන්දුවාර එකක් හෝ දෙකක් බලාපොරොත්තු විය හැකි බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග පවසා සිටියා.

“Hardik ඔහුගේ කොන්දේ ශල්‍යකර්මයට පස්සේ තාමත් සුවවෙමින් ඉන්නේ. ඔහු කළින් හිටිය පන්දු යවන්නා නෙමෙයි. ඔහු මද වේගපන්දු යවන්නෙක් විදිහට කටයුතු කළා. පැයට කිලෝමීටර් 135 වගේ සීමාවක පන්දු යවන්න සමත් වුනා. ඒත් මේ ආබාධය එක්ක ඒ තරම් වේගයෙන් පන්දු යවන්න හැකියාවක් නැහැ. මේ නිසා ඔහු තරග අවසන් කරන්නෙක් විදිහට ඔහුගේ හැකියාවන් දියුණු කර ගනිමින් ඉන්නවා.” 

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 

  • ජූලි 13 – පළමු එක්දින තරගය – කොළඹ දී
  • ජූලි 19 – දෙවැනි එක්දින තරගය – කොළඹ දී
  • ජූලි 22 – තෙවැනි එක්දින තරගය – කොළඹ දී
  • ජූලි 22 – පළමු විස්සයි විස්ස තරගය – කොළඹ දී
  • ජූලි 24 – දෙවැනි විස්සයි විස්ස තරගය – කොළඹ දී
  • ජූලි 27 – තෙවැනි විස්සයි විස්ස තරගය – කොළඹ දී

*සැ.යු – ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා අදාළ නිල තරග කාලසටහන තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කර නැහැ.

Hindustan Times ඇසුරිනි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<