Bancroftගේ ප්‍රකාශයට පන්දු යවන්නන් පිළිතුරු දෙයි

185
Starc Hazlewood Cummins

2018 වසරේ දී සිදු වූ පන්දුව පළුදු කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තමන් කිසිවක් දැන නොසිටි බව එම තරගය සඳහා සහභාගී වූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් වන Pat Cummins, Mitchell Starc, Josh Hazlewood සහ Nathan Lyon පවසා තිබෙනවා.

2018 වසරේ කේප් ටවුන් හි පැවති ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගය අතරතුර Cameron Bancroft විසින් වැලි කඩදාසියක් උපයෝගී කරගනිමින් පන්දුව පළුදු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ඔහුට මාස 9ක ක්‍රිකට් තහනමක් පැනවුනු අතර එවකට ඕස්ට්‍රේලියානු නායකයන් වූ Steve Smith සහ David Warner හට වසරක තහනමක් පැනවුණා. 

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් The Guardian පුවත්පත වෙත පසුගිය දා අදහස් දක්වමින් Cameron Bancroft ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණා. එහි දී ඔහු පවසා සිටියේ තමන් එලෙස පන්දු පළුදු කරන බව තරගයට සහභාගී වූ සෙසු පන්දු ක්‍රීඩකයන් දැන සිටි බවයි.

මෙම ප්‍රකාශය පසුගිය සති කීපය තුල ඕස්ට්‍රේලියාව තුල මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුනා. එහි දී හිටපු නායකයන් වන Michael Clarke සහ Adam Gilchrist ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සත්‍ය වසන් කළ බවට චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත් එම තරගය සඳහා සහභාගී වූ සෙසු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් වන Pat Cummins, Mitchell Starc, Josh Hazlewood සහ Nathan Lyon තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටි බවත්, පන්දුව පළුදු කිරීමට Bancroft විසින් වැලි කඩදාසියක් උපයෝගී කරගන්නා ආකාරය ඔවුන් දුටුවේ ද මාධ්‍ය වාර්තාවලින් බවත් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

“අපි අපේ අවංකභාවය ගැන ගොඩක් ගෞරවයෙන් සලකනවා. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට්වලට අපි දක්වන අවංකභාවය පසුගිය දින කීපය තුල මාධ්‍ය විසින් සහ හිටපු ක්‍රීඩකයන් විසින් ප්‍රශ්න කර තිබුණා. අපි කිසිසේත්ම එවැනි දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ. අපි මේ පරීක්ෂණයට අවස්ථා කීපයක දී ම දායකත්වය ලබා දුන්නා. ඔවුන්ගේ සෑම ප්‍රශ්නයකටම අපි පිළිතුරු ලබා දුන්නා. අපි මේ නිවේදනයෙන් ඒ පරීක්ෂණයේ වැදගත් කරුණු කීපයක් නැවතත් අවධාරණය කරන්න බලාපොරොත්තු වෙනවා.”

“මේ තරගය තුළ පන්දුව පළුදු කිරීම සඳහා කිසිදු බාහිර ද්‍රව්‍යක් රැගෙන ආවා කියලා අපි දැනගෙන හිටියේ නැහැ. අපි ඒ ගැන දැනගත්තේ Newlands වල පුළුල් තිරයේ ඡායාරූපවලින්. පසුගිය දින කීපය තුල අපිට චෝදනා කළ මාධ්‍ය සහ හිටපු ක්‍රීඩකයන්ගේ දැනුවත් වීමට අපි මේ කරුණු හෙළිකරන්නේ. 

අපි ඔවුන්ට තවත් දෙයක් දැනුම් දෙන්න කැමතියි. මේ තරගයේ විනිසුරුවන් විදිහට කටයුතු කළේ Nigel Llong සහ Richard Illingworth. ඔවුන් ඉතාමත් ඉහළ ගෞරවයක් සහ ඉහල පිළිගැනීමක් තියන විනිසුරුවන්. තරගය අතරතුර පන්දුව පළුදු කරන ආකාරය දැක්වෙන ඡායාරූප පුළුල් තිරයේ පෙන්වුවාට පස්සේ ඔවුන් පන්දුව පරීක්ෂා කළා. ඒත් ඔවුන් පන්දුව මාරු කළේ නැහැ. ඒ පන්දුවට කිසිම හානියක් සිදු වෙලා නැති නිසා.”

“මේ කිසිම කරුණක් එදා සිදු වුන සිදුවීමට නිදහසට කරුණු නෙමෙයි. ඒ දේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒ වගේ දේවල් නැවත සිදු නොවිය යුතුයි. මේ සිදුවීමෙන් අපි වැදගත් පාඩම් රැසක් ඉගෙන ගත්තා. ක්‍රීඩකයන් සහ ඕස්ට්‍රේලියානුවන් විදිහට ක්‍රීඩාවට අපේ තියන කැපවීමේ වැදගත්කම අපි ඉගෙන ගත්තා. 

මේ නොනවතින චෝදනා නවත්වන්න. මේ සිදුවීම දුරදිග ගියා වැඩියි. මේ ගැන පරීක්ෂණයක් කරලා දඬුවම් දීලා තියෙන්නේ. සාක්ෂි නොමැතිව චෝදනා කිරීමෙන් වළකින්න කියලා අපි ඉල්ලා සිටිනවා” නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පසුගිය දා Cameron Bancroft හට දන්වා තිබුණා. එහි දී ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ ඕනෑම අයෙක් සතුව මෙම සිදුවීම සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය වෙත දන්වන ලෙසයි. 

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් නව තොරතුරු කිසිවක් තමන් සතුව නොමැති බව Cameron Bancroft ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබෙනවා. ඒ බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ විනය කමිටු සභාපති Nick Hockley තහවුරු කර සිටියා.

Bancroftගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් නායක Tim Paine පවසා සිටියේ මාධ්‍ය විසින් Bancroftගේ ප්‍රකාශයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දුන් බවයි.

“නායකයෙක් විදිහට මම කණ්ඩායම ගැන හිතන්න ඕනේ. මේ වගේ දේවල්වලින් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳ වැටෙන්න පුළුවන්. අපි හැමවෙලේම උත්සාහ කරන්න ඕනේ කණ්ඩායම විදිහට ඉදිරියට යන්න. ක්‍රීඩකයන් කීපදෙනෙක් මේ ගැන Bancroft එක්ක කතා කරලා තිබුණා. තරගය අතරතුර මේ ගැන වාර්තා වුනාට පස්සේ පන්දුව පරීක්ෂා කළා. පන්දුවට හානි වෙලා තිබුණේ නැහැ. විනිසුරුවන් දකින්නේ නැති දෙයක් පන්දු යවන්නන් දකින්නේ කොහොමද? 

මේ තරගයට ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ට මේක ලොකු මානසික පීඩනයක්. ඔවුන් Bancroft එක්ක කතා කරලා තත්ත්වය පැහැදිලි කරගත්තා” Tim Paine පවසා සිටියා.

ESPNcricinfo ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<