ICC විසින් 2022 වසරේ විශිෂ්ටතමයින් නම් කරයි!

439

ICC විසින් 2022 වසරට අදාළව ක්‍රිකට් තරග රටා සියල්ලේම විශිෂ්ටතම ක්‍රීඩකයින් නම් කර තිබෙනවා.

ඒ අනුව වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක Bens Stokes හට හිමි වී තිබෙනවා.

ගෙවී ගිය 2022 වසරේ ටෙස්ට් ලකුණු 870ක් සහ කඩුලු 22ක් බිඳ හෙළීමට සමත් වූ Stokesගේ නායකත්වය යටතේ එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට නවමු මානයක් විවර කර දීමට ද සමත් වුනා. එමෙන්ම 2022 වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ද හිමි වුනේ Stokes හටයි.

මේ අතර වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පාකිස්තාන නායක Babar Azam සම්මාන ලැබූ අතර, එයින් නොනැවතී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි Sir Garfield Sobers සම්මානය දිනා ගැනීමට ද ඔහු සමත් වුනා.

Sobers සම්මානය අඛණ්ඩ දෙවැි වරටත් පාකිස්තානයට දිනා දීමට Azam සමත් වූ අතර 2021 දී එම සම්මානය දිනා ගැනීමට සමත් වුනේ පාකිස්තානයේම Shaheen Shah Afridi විසිනුයි.

Babar ගෙවුණු 2022 වර්ෂයේ ජාත්‍යන්තර ලකුණු 2000 ඉක්මවා ගිය එකම පිතිකරුවා බවට පත් වූ අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍ය අගය දැක්වුනේ 54.12ක් ලෙසයි.

වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුනේ ඉන්දීය පිතිකරු Suryakumar Yadav විසිනුයි. ඔහු නිමා වූ වසරේ විස්සයි විස්ස ඉනිම් 31ක් තුළ දී ලකුණු 1164ක් රැස් කිරීමට සමත් වුනේ ප්‍රහාරාත්මක වේගය 187.43ක අගයක රඳවා තබා ගනිමිනුයි.

මේ අතර වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සහ වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි Rachael Heyhoe Flint සම්මානය යන සම්මාන දෙකම දිනා ගැනීමට එංගලන්ත ක්‍රීඩිකා Nat Sciver සමත් වුනා.

ඇය 2022 වසරේ දී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 1346ක් සහ කඩුලු 22ක් බිඳ හෙලීමට සමත් වී තිබුණා.

මීට අමතරව වසරේ ක්‍රිකට් විනිසුරු ලෙස Richard Illingworth සම්මාන දිනා ගනු ලැබූ අතර, ගෙවී ගිය වසරේ ක්‍රීඩාවේ ජීව ගුණය රැකීම වෙනුවෙන් හිමි වන Spirit of Cricket සම්මානය නේපාල කඩුලු රකින ක්‍රීඩක Aasif Sheikh හට හිමි වුනා.

2022 වසර වෙනුවෙන් ICC ය පිරිනැමූ සම්මාන මෙසේයි.

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා: Babar Azam
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව: Nat Sciver
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා: Ben Stokes
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා: Babar Azam
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව: Nat Sciver
  • වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා: Suryakumar Yadav
  • වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩිකාව: Tahlia McGrath
  • වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා: Marco Jansen
  • වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාව: Renuka Singh
  • Men’s Associate* Cricketer of the Year: Gerhard Erasmus
  • Women’s Associate Cricketer of the Year: Esha Oza
  • * ICC පූර්ණ කාලීන සාමාජිකත්වය නොලැබූ රටවල්
  • වසරේ විනිසුරුවරයා: Richard Illingworth
  • ක්‍රීඩාවේ ජීව ගුණය සුරැකීම වෙනුවෙන් හිමි වන සම්මානය: Aasif Sheikh

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<