චක්‍රවර්තී කොල්කටාව වෙනුවෙන් ප්‍රාතිහාර්ය පායි!

IPL 2023

2089

2023 IPL තරගාවලියේ 47 වැනි තරගයෙන් Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව ලකුණු 5ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට Kolkata Knight Riders ඊයේ (4) සමත් වුනා.

මෙම තරගය ඉන්දියාවේ Hyderabad හිදි ඊයේ ආරම්භ වූ අතර, තරගාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීම වෙනුවෙන් කණ්ඩායම් දෙකට ම තරගයේ ජයග්‍රහණය අත්‍යාවශ්‍ය එකක් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට කොල්කටා නායක Nitish Rana විසින් තීරණය කළ අතර, අවසානයේ ඔහු ගත් තීරණය නිවැරදි එකක් බව ඔප්පු කිරීමේ වගකීම ද ඔහුගේ උර මතට පැටවුණේ ඉනිමේ පළමු කඩුලු 3ම ලකුණු 35ක දී දැවී යාමත් සමඟයි.

කොල්කටා ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වූ Rana සහ Rinku Singh විසින් ලකුණු 61ක සබඳතාවක් පිහිටුවමින් කොල්කටා ඉනිමට ශක්තිමත් අඩිතාලමක් සැකසීමට සමත් වූ අතර, ලකුණු 42ක් ලබා සිටි Ranaගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි Andre Russell ලබා ගත් වේගවත් ලකුණු 24 එයට තවත් ශක්තියක් වුනා.

නමුත් කඩුලු 4කට ලකුණු 127ක් ලබා ගනිමින් ස්ථාවර වී සිටි කොල්කටා ඉනිමේ ගමන් මග සැණකින් වෙනස් කළ හයිද්‍රාබාද් පන්දු යවන්නන් නියමිත පන්දුවාර 20 තුල කොල්කටා ඉනිමේ කඩුලු 9ක් ලකුණු 171ක් තුල දවා ගැනීමට සමත් වුනා.

එහි දී ඒ වෙනුවෙන් ඉහළ ම දායකත්වය ලබා දුන් හයිද්‍රාබාද් පන්දු යවන්නන් වුනේ කඩුලු 2 බැගින් දවා ගත් Marco Jansen සහ T Natarajan යන අයයි. එමෙන් ම කොල්කටාව වෙනුවෙන් නැවතත් සාර්ථක වූ Rinku Singh පන්දු 35කින් ලකුණු 46ක් වාර්තා කිරීමට සමත් වුනා.

කොල්කටාව විසින් ලබා දුන් ඉලක්කය හඹා යාම හයිද්‍රාබාදයට ද එතරම් පහසු එකක් නොවන බව ඔවුන්ගේ ඉනිම ආරම්භයේ දී ම පෙනී ගිය අතර, ඉනිමේ හත්වැනි පන්දුවාරය වන විට ලකුණු 54කට හයිද්‍රාබාද් කඩුලු 4ක් දවා ගැනීමට කොල්කටා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

නමුත් ඉන්පසුව පිටියේ එක් වූ Aiden Markram සහ Heinrich Klaasen විසින් හයිද්‍රාබාද් ඉනිම ස්ථාවර කරමින් තරගය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි මට්ටමකට ගෙන ඒමට සමත් වුනේ පන්දු 47කින් ලකුණු 70ක සබඳතාවක් පිහිටුවමිනුයි.

හයිද්‍රාබාද් ඉනිමේ 14 වැනි පන්දුවාරය අවසන් වන විට තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන්ට කඩුලු 6ක් අතැතිව ලබා ගැනීමට ඉතිරි වී තිබුණේ ලකුණු 48ක් පමණයි. ඒ වෙනුවෙන් ඔවුන්ට පන්දු 36ක් ඉතිරි වී තිබුණා. නමුත් ඉන් පසුව හයිද්‍රාබාදයට තිබූ පහසු ඉලක්කය හඹා යාම මිරිඟුවක් බවට පත් කිරීමට සමත් වූ කොල්කටා පන්දු යවන්නන් විසින් හයිද්‍රාබාද් කඩුලු එකින් එක බිඳ දැමීමට සමත් වුනා.

එහි දී ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ පන්දු යැවීම වෙනුවෙන් ම කොල්කටා නායක Nitish Rana විසින් රඳවා ගෙන සිටි Varun Chakaravarthy තරගයේ 16, 18 සහ 20 වැනි පන්දුවාර, සිය අවසන් පන්දුවාර 3 ලෙස යොමු කරමින් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 8ක් පමණයි. ඒ අනුව Chakaravarthy හමුවේ අන්ත අසරණ වූ හයිද්‍රාබාද් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 166ක් පමණයි.

මෙහි දී හයිද්‍රාබාදය වෙනුවෙන් පිත්තෙන් සාර්ථක වූ Adien Markram ලකුණු 41ක් ලබා ගනිද්දී, Heinrich Klaasen විසින් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුනා.

එමෙන් ම කොල්කටාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Varun Chakaravarthy විසින් එක් කඩුල්ලක් බිඳ හෙළද්දී Shardul Takur සහ Vaibhav Arora විසින් විසින් කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව හයිද්‍රාබාදයට එරෙහිව ලකුණු 5ක ජයග්‍රහණයක් වාර්තා කළ Kolkata Knight Riders කණ්ඩායම IPL ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ දැනට පසු වනවා. එමෙන් ම ඊයේ පරාජයක් උරුම කර ගත් Sunrisers Hyderabad කණ්ඩායම ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

නිමා වූ තරගයේ වීරයා ලෙස කොල්කටාව වෙනුවෙන් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Varun Chakaravarthy විසින් සම්මාන දිනා ගත්තා.

  • Kolkata Knight Riders 171/9 (20) Rinku Singh 46, Nitish Rana 42; Marco Jansen 2-24, T Natarajan 2-30
  • Sunrisers Hyderabad 166/8 (20) Aiden Markram 41, Heinrich Klaasen 36; Shardul Thakur 2-23, Vaibhav Arora 2-32, Varun Chakaravarthy 1-20

තරගාවලියේ 48 වැනි තරගය අද (5) Rajasthan Royals සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය ඇතුළු මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<