ICC නම් කළ 2022 වසරේ කණ්ඩායම්

381

2022 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සියලු ආකෘති සඳහා කාන්තා සහ පිරිමි කණ්ඩායම් නම් කර තිබෙනවා.

කාන්තා සහ පිරිමි විස්සයි විස්ස කණ්ඩායම, එක්දින කණ්ඩායම සහ පිරිමි ටෙස්ට් කණ්ඩායම යනුවෙන් කණ්ඩායම් පහක් මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එම කණ්ඩායම් සඳහා රටවල් එකොළහක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගී වී තිබීම විශේෂත්වයක්.

එම කණ්ඩායම් සඳහා ලෝක කුසලාන දිනූ කණ්ඩායම් වල ක්‍රීඩකයින්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රීඩකයින් ලෙස තේරී පත් වූ ක්‍රීඩකයින් මෙන්ම එම වසරේ ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූ නැගී එන ක්‍රීඩකයින් ඇතුළත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශේෂ කමිටුව විසින් මෙම කණ්ඩායම් නම් කර ඇති අතර පසුගිය වසරේ දැක්වූ දස්කම් මත නම් කළ මෙම කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් 11 දෙනෙකු ඇතුළත්.

ICC වසරේ ටෙස්ට් කණ්ඩායම: Usman Khawaja (ඕස්ට්‍රේලියාව), Kraigg Brathwaite (බටහිර ඉන්දීය කොදෙව්), Marnus Labuschagne (ඕස්ට්‍රේලියාව), Babar Azam (පාකිස්තානය), Jonny Bairstow (එංගලන්තය), Ben Stokes (c) (එංගලන්තය), Rishabh Pant (wk) (ඉන්දියාව), Pat Cummins (ඕස්ට්‍රේලියාව), Kagiso Rabada (දකුණු අප්‍රිකාව), Nathan Lyon (ඕස්ට්‍රේලියාව), James Anderson (එංගලන්තය)

ලෝක ටෙස්ට් පිටියේ 2022 වසරේ සුවිශේෂී දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සමන්විත මෙම කණ්ඩායමේ ක්‍රීඩකයින් එම වසර තුළ ටෙස්ට් ලකුණු 6.988ක් සහ කඩුලු 198ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගිය වසර තුළ ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් ටෙස්ට් පිටියේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔවුන් ලෝක ටෙස්ට් ශූරතාවයේ ද පෙරමුණේ පසුවෙනවා. එමෙන්ම ඕස්ට්‍රේලියාව නියෝජනය කරන ක්‍රීඩකයින් වන Marnus Labuschagne සහ Pat Cummins ටෙස්ට් පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවීම විශේෂත්වයක්.

ටෙස්ට් ක්‍රීඩාවට ආක්‍රමණශීලී වෙනසක් එක් කරමින් පසු ගිය වසර තුළ පෙරළිකාරී ජයග්‍රහණ ලැබූ එංගලන්ත ටෙස්ට් නායක Ben Stokes මෙම කණ්ඩායමේ නායකත්වය දරද්දී James Anderson සහ Jonny Bairstow එංගලන්තය නියෝජනය කරමින් කණ්ඩායමට එක්ව තිබෙනවා.

පසුගිය වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පාකිස්තාන ක්‍රීඩක Babar Azam සහ ටෙස්ට් කඩුලු ලබා ගත් දකුණු අප්‍රිකා ක්‍රීඩක Kagiso Rabada සහ ඕස්ට්‍රේලියා ක්‍රීඩක Nathan Lyon ද මෙම කණ්ඩායමට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ICC වසරේ කාන්තා එක්දින කණ්ඩායම: Alyssa Healy (wk) (ඕස්ට්‍රේලියාව), Smriti Mandhana (ඉන්දියාව), Laura Wolvaardt (දකුණු අප්‍රිකාව), Nat Sciver (එංගලන්තය), Beth Mooney (ඕස්ට්‍රේලියාව), Harmanpreet Kaur (c) (ඉන්දියාව), Amelia Kerr (නවසීලන්තය), Sophie Ecclestone (එංගලන්තය), Ayabonga Khaka (දකුණු අප්‍රිකාව), Renuka Singh (ඉන්දියාව), Shabnim Ismail (දකුණු අප්‍රිකාව)

කාන්තා එක්දින පිටිය පසුගිය වසරේ එක්දින ලෝක කුසලානය නිසා උණුසුම් වූ අතර එහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තනි දස්කම් මෙන්ම අවසන් පන්දුව තෙක් ඇදී ගිය ඉතා තියුණු තරග දැක ගැනීමට හැකි වුනා.

එම තරගාවලිය සහ 2022 එක්දින ක්‍රිකට් පිටියේ දස්කම් සලකා බලා නම් කළ කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ඉන්දීය ක්‍රීඩිකා Harmanpreet Kaur හටයි.

ලෝක කුසලානය දිනා ගත් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඇතුළත්ව ඇති අතර එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබූ Beth Mooney සහ වසරේ පිතිකරණයෙන් ඉහළ දස්කම් දැක්වූ Alyssa Healy එම ක්‍රීඩිකාවන් වෙනවා.

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා Laura Wolvaardt වසරේ වැඩිම එක්දින ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව ලෙස කණ්ඩායමට එක් වෙද්දී වසරේ වැඩිම කඩුලු ලාභියා ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා Shabnim Ismail කණ්ඩායමට එක් වෙනවා.

එමෙන්ම මෙම සංචිතයට පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරමින් ඉන්දිය ක්‍රීඩිකා Renuka Singh සහ එක්දින ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලබා ගත් එංගලන්ත ක්‍රීඩිකා Sophie Ecclestone එක්ව තිබෙනවා.

ICC වසරේ එක්දින කණ්ඩායම (පිරිමි): Babar Azam (c) (පාකිස්තානය), Travis Head (ඕස්ට්‍රේලියාව), Shai Hope (බටහිර ඉන්දීය කොදෙව්), Shreyas Iyer (ඉන්දියාව), Tom Latham (wk) (නවසීලන්තය), Sikandar Raza (සිම්බාබ්වේ), Mehidy Hasan Miraz (බංග්ලාදේශය), Alzarri Joseph (බටහිර ඉන්දීය කොදෙව්), Mohammed Siraj (ඉන්දියාව), Trent Boult (නවසීලන්තය), Adam Zampa (ඕස්ට්‍රේලියාව)

එක්දින පිටිය උණුසුම් කරමින් තරගාවලි රැසක් පැවති 2022 වසරේ එක්දින කණ්ඩායම සඳහා රටවල් 7ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් එක්ව තිබෙනවා.

2022 වසර තුළ ලකුණු 84.87ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 679ක් ලබා ගත් පාකිස්තාන ක්‍රීඩක Babar Azam කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇති අතර තරග 17ක් තුළ ලකුණු 724ක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩක Shreyas Iyer ද කණ්ඩායමට ඇතුළත්.

වසර තුළ ශතක තුනක් ලබා ගනිමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබූ සිම්බාබ්වේ ක්‍රීඩක Sikandar Raza ද මෙම සංචිතයේ ඉඩක් හිමිව තිබෙනවා.

පසුගිය වසරේ එක්දින පන්දු යවන්නන් අතර මුල් ස්ථාන පහ දිනා ගත් ක්‍රීඩකයින්ගෙන් හතර දෙනෙකු මෙම සංචිතයට ඇතුළත් ව තිබෙන අතර Mehidy Hasan Miraz, Alzarri Joseph, Adam Zampa සහ ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පසුවන Trent Boult එම ක්‍රීඩකයින් වෙනවා.

ICC වසරේ කාන්තා විස්සයි විස්ස කණ්ඩායම: Smriti Mandhana (Ind), Beth Mooney (Aus), Sophie Devine (c) (NZ), Ash Gardner (Aus), Tahlia McGrath (Aus), Nida Dar (Pak), Deepti Sharma (Ind), Richa Ghosh (wk) (Ind), Sophie Ecclestone (Eng), Inoka Ranaweera (SL), Renuka Singh (Ind)

ICC වසරේ පිරිමි විස්සයි විස්ස කණ්ඩායම: Jos Buttler (c) (wk) (Eng), Mohammad Rizwan (Pak), Virat Kohli (Ind), Suryakumar Yadav (Ind), Glenn Phillips (NZ), Sikandar Raza (Zim), Hardik Pandya (Ind), Sam Curran (Eng), Wanindu Hasaranga (SL), Haris Rauf (Pak), Josh Little (Ire)

තනි පුද්ගල සම්මාන නිවේදනය

2022 ක්‍රිකට් පිටියේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන තනි පුද්ගල සම්මාන පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළ නිවේදනය කිරීමට නියමිතයි.

බදාදා (25) එම සම්මාන ලබා ගන්නා පළමු ක්‍රීඩකයින් පිළිබඳව නිවේදනය කිරීමට නියමිත අතර ඒ විස්සයි විස්ස සහ නැගී එන කාණ්ඩයට අදාළවයි.

එම සම්මාන වලට පසු බ්‍රහස්පතින්දා (26) වසරේ විනිසුරුවරයා, වසරේ එක්දින ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව, වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව පිළිබඳව නිවේදනය කිරීමට නියමිතයි.

ඉන් පසුව වසරේ ක්‍රීඩිකාවට හිමි Rachael Heyhoe Flint සම්මානය සහ ක්‍රීඩකයාට හිමි Sir Garfield සම්මානය දිනා ගන්නා ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නිවේදනය කිරීමට නියමිත වේ.

එම සම්මාන සියල්ල ලබා දීමෙන් පසුව අවසන් සම්මානය ලෙස ක්‍රීඩාවේ ජීව ගුණයට හිමි සම්මානය පිළිබඳව නිවේදනය කරයි.

>>සම්මාන සඳහා නිර්දේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කාණ්ඩ<<

ICC ඡන්ද ඇකඩමිය

Anand Vasu, Anjum Chopra, Daniel Beswick, Daren Ganga, Emal Pasarly, Estelle Vasudevan, Faizan Lakhani, Firdose Moonda, Frankie Mackay, Ian Bishop, Ian Callender, Isobel Joyce, Javed Hamim Kakar, Lisa Sthalekar, Lydia Greenway, Mehluli Sibanda, Melinda Farrell, Mohammad Isam, Mohammad Sekander Ali, Mpumelelo Mbangwa, Nasser Hussain, Natalie Germanos, Niall O’Brien, Paul Radley, Peter Della Penna, Peter Lalor, Rex Clementine, Russel Arnold, Sambit Bal, Shahid Hashmi, Simon Doull, Simon Wilde, Suzanne McFadden, Tristan Holme.

                                  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<