වසර 21 ක්… සතුට හා දුක එකට මුසු වූ හරි ලස්සන අමරණීය මායාකාරී යුගයක්.
ලෝක ක්‍රීඩා ඉතිහාසය තුළ අති විශිෂ්ට ක්‍රීඩකයන්, සුපිරි තරු ඕනෑ තරම් බිහි වෙලා තියෙනවා. එහෙම තරු අතරින් ලෝක පූජිත තරු ඉන්නේ ඉතාම ටිකයි. ඒ අතරිනුත් සුවිසල් ගෞරවාන්විත සමුගැනීමක් හිමි වෙලා තියෙන්නේ අතලොස්සකට පමණයි.
ඒ වගේ ගෞරවාන්විත, සුවිසල් සමු ගැනීමක් පසුගියදා සමස්ත ලෝකයටම දැක බලාගන්න පුළුවන් වුණා. ඒ, එදා මෙදා තුර ලෝක පාපන්දු ඉතිහාසයේ බිහි වුණ විශිෂ්ටතමයා, ලෝක පාපන්දුවේ පුරාවෘත්තය වන ලියොනල් අන්ඩ්‍රෙස් මෙසී, තමන්ගේ වසර 21 ක විශිෂ්ට ජාත්‍යන්තර පාපන්දු ගමන අවසන් කිරීමත් සමඟ.
වර්ෂ 1987 ජූනි 24 වන දින ආර්ජන්ටිනාවේ රොසාරියෝ නගරයේ මේ ශ්‍රේෂ්ට ක්‍රීඩකයා උපත ලැබූවා. කුඩා කල සිටම පාපන්දුව සමඟ මෙසීගේ තිබුණ බැඳීම දුටු ඔහුගේ මිත්තණිය, පාපන්දුව සමඟ මෙසීගේ ඓතිහාසික ගමන ආරම්භ කරන්න සුවිශාල මෙහෙවරක් සිදු කරනවා, එයට කෘත ගුණ සැලකීමක් විදියට මෙසී ගෝලයක් ලබා ගන්නා සෑම විටම අහස දිහා බලමින් තම මිත්තනිය සිහි කරන බව පවසා තිබුණා.
කුඩා කල වර්ධන හෝමෝන ආබාධයකින් බැට කෑ රොසාරියෝ වල මේ පුංචි කොල්ලා, නැප්කින් එකක සටහන් කළ ගිවිසුමකින්, තම පියා සමඟින් ස්පාඤ්ඤයේ බාසිලෝනා කඳවුර වෙත යන්නේ තම විශිෂ්ට ගමනේ මූලාරම්භය සනිටුහන් කරමින්. කෙදිනක හෝ තම රටේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරිමේ අභිප්‍රාය හිතේ ඉහළින්ම තබා ගත් ලියොනල් මෙසී, 2005 දී ඒ සිහිනය සැබෑ කර ගන්නට සමත් වුණා. ඒ තම මව් රට වන ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමේ වරම් දිනා ගනිමින්. ඒ වයස අවුරුදු 18 දී වීම විශේෂත්වයක්. හංගේරියාවට එරෙහිව තම පළමු තරඟය ක්‍රීඩා කිරීමට ලියොනල් මෙසී එහිදී සමත් වුණා.
ආර්ජන්ටිනාව වෙනුවෙන් තරඟ 208ක් ක්‍රීඩා කළ මෙසී එහිදී ගෝල 126ක් සහ ගෝල ලබා ගැනීමට සහය වීම් 68කට දායකත්වය ලබා දී තිබෙනවා. විශේෂත්වය නම් ආර්ජන්ටීනා පාපන්දු ඉතිහාසයේ වැඩිම තරඟ ප්‍රමාණයක්, වැඩිම ගෝල ලබා ගැනීම් ප්‍රමාණයක්, වැඩිම ගෝල ලබා ගැනීමට සහය වූ පුද්ගලයා මේ විශිෂ්ට ක්‍රීඩකයා වීමයි. එමෙන්ම ජාත්‍යන්තර තරඟාවලි 16ක් ක්‍රීඩා කළ මෙසී ඉන් අවසාන මහා තරඟ 11ක් නියෝජනය කරමින් ශුරතා 06ක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එමෙන්ම එහි දී තරඟාවලි 07ක දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මාන 07 ක් දිනා ගැනීමටද හැකීයාව ලබා ගත්තා. එවැනි දස්කමක් කල ලොව එකම පාපන්දු ක්‍රීඩකයා වන්නේ මෙසී පමණක් වීමද විශේෂත්වයක්.
ආර්ජන්ටිනාව සමඟ මෙසී තම පළමු ජාත්‍යන්තර කුසලානය දිනා ගැනීමට සමත් වන්නේ 2021දී. ඒ කෝපා ඇමරිකා තරගාවලියේ අවසන් මහ තරඟයේදී ප්‍රබල බ්‍රසීලය පරාජයට පත් කරමින්, 2021 කෝපා ඇමරිකා ශූරයන් බවට පත් වෙමින්. ඉන්පසු 2022 වර්ෂයේ ඉතාලියට එරෙහිව ෆිනාලිස්සිමා තරඟයත් ජයගැනීමට ආර්ජන්ටිනාව සමත්වුණා.
තම ජිවිතයේ දැකපු ලොකුම සිහිනයට ගමන් කරමින් වසර 36ක් පුරාවට ආර්ජන්ටිනුවන් දැකපු සිහිනය සැබෑ කරවමින් 2022 වර්ෂයේදී ප්‍රබල ප්‍රංශය පරාජයට පත් කරමින් ආර්ජන්ටිනාව ස්වර්ණමය යුගයට අරන් යන්න ලියොනල් මෙසී සමත් වුණා, ඒ තරඟාවලියේ දක්ෂතම ක්‍රිඩකයා සහ දෙවන වැඩිම ගෝල ලාභියා බවට පත් වෙමින්.
ඉන්පසු යළිත් වරක් කොළොම්බියාව පරාජයට පත් කරමින්, 2024 වර්ෂයේ කෝපා ඇමරිකා ශුරයින් වන්නට ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව සමත් වෙනවා.
ඔහු ක්‍රීඩා කළ තරඟාවලි 16 අතරින්,
• 2005 වයස අවුරුදු 20න් පහළ ලෝක කුසලාන තරඟාවලිය
• 2008 ඔලිම්පික් තරඟාවලිය
• 2014 පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය
• 2015 කෝපා ඇමෙරිකා තරඟාවලිය
• 2021 කෝපා ඇමෙරිකා තරඟාවලිය
• 2022 ෆිනාලිස්සිමා තරඟය
• 2022 පාපන්දු ලෝක කුසලානය
යන තරඟාවලි 07 දී දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සමාන දිනා ගැනිමට සමත් වුණා. එවැනි දස්කමක් කළ ලොව එකම ක්‍රීඩකයා මොහු වීම විශේෂත්වයක්. ජාත්‍යන්තර පාපන්දුවේ මෙසීට පසුව සිටින පේලේ, සිඩෑන් එසේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේද දෙවරක් පමණක් වීම කැපී පෙනෙනවා.
මෙසීගේ ලෝක කුසලාන ගමන් මඟ දිහා බැලුවාම ලෝක කුසලාන තරඟාවලි 06 ක්‍රීඩා කර ඇති අතර, ඉන් නායකත්වය දැරූ තරඟාවලි 04න් තරඟාවලි 03ක දීම ආර්ජන්ටිනාව අවසාන මහා තරඟය දක්වා රැගෙන ඒමට ලියොනල් මෙසී විශිෂ්ට දායකත්වයක් සැපයුවා, එමෙන්ම අවසාන මහා තරඟ තුනක් ක්‍රීඩා කළ ලොව එකම ක්‍රීඩකයා ඔහු වීමද විශේෂත්වයක්. ලෝක කුසලාන ඉතිහාසයේ දෙවන වැඩිම ගෝල ලාභියා බවට ලියොනල් මෙසී පත් වෙන්නෙ ප්‍රංශයේ කිලියන් එම්බාප්පේට පමණක් දෙවැනි වෙමින්, ගෝල 21ක් ලබා ගනිමින්. එමෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලබා ගැනීමට සහය වීමේ වාර්තාව තවමත් පවතින්නේ මෙසී සතුවයි, ඒ සහයවීම් 12ක් ලබා දෙමින්.
එමෙන්ම ලෝක කුසලාන තරඟාවලියක දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් දෙවරක් ගෝල්ඩන් බෝල් සම්මානය දිනා ගැනීමට මෙසී සමත් වුණා. ඒ එවැනි දස් කමක් කල ලොව එකම ක්‍රීඩකයා බවට පත් වෙමින්.
වසරේ ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරි නමන බැලන්ඩි’ඕර් සම්මාන 08ක් දිනා ගත් ලොව එකම ක්‍රීඩකයා වන්නේද ලියොනල් මෙසී යි.
විවිධ බාධක මැදින් 2026 පාපන්දු ලෝක කුසලානය කරා ආර්ජන්ටිනාවේ බර කරට ගෙන අවසාන මහා තරඟය දක්වා තම කණ්ඩායම රැගෙන ආ 39 වන වියේ පසු වූ ලියොනල් මෙසී, වයස යනු ඉළක්කමක් විතරක් බව ලොවට කියා දුන්නා. එහෙත් ප්‍රබල ස්පාඤ්ඤය හමුවේ අමිහිරි ලෙස පරාජයට පත් වී අනුශූරයන් බවට පත් වූවත්, මෙසී තම ලෝක වාසි රසිකයන්ට ලබා දුන්නේ අමරණීය මතකයක්.
ඉන්පසු තම දිවියේ අසීරු මොහොතකට මුහුන දෙන්නට මෙසීට සිදු වුණා, ඒ මෙසීගේ පියා දිවි සැරිය නිම කිරීම යි.
ලෝක කුසලාන අවසාන මහ තරඟ පරාජයත්, තම ලෝකයේ වීරයා අහිමි වීමේ වේදනාවත් සමඟින් මෙසී ජ්‍යාත්‍යන්තර පාපන්දු දිවියට සමුදෙන බව ප්‍රකාශයට පත්කලේ ලෝක වාසි රසිකයන් කම්පාවට පත් කරමින්. එහෙත් තම රට වෙනුවෙන් විශිෂ්ට මෙහෙයක් ඉටු කළ මේ පුරාවෘත්තයට නිකන්ම සමුගෙන යාමට ඉඩ නොදුන් ආර්ජන්ටිනා කණ්ඩායමේ තම සගයින්, බලධාරින් මෙන්ම ප්‍රේක්ෂකයන් ඔහු වෙනුවෙන් ඓතිහාසික සමු ගැනීමක් සංවිධානය කරා. බෙනින් රාජ්‍ය සමඟ සුහද පාපන්දු තරඟයක් පවත්වමින්, තම විශිෂ්ටතම ක්‍රීඩකයාට අවසන් ගෞරවය ලබා දෙන්න දකුණු ඇමෙරිකාවේ විශාලම ක්‍රීඩාංගනය වන මොනියුමෙන්ටල් ක්‍රීඩාංගනයට 85,000කට අධික ජන ගඟක් එක්ව සිටියා.
තරඟය ආරම්භයට ප්‍රථම මෙසීගේ නම සහ අංකය සටහන් කර තිබූ විශාල ජර්සියක් ගුවනින් ගමන් කෙරවු අතර, ඉන්පසු එය ක්‍රීඩා පිටිය වෙතට ගෙන ඒමට කටයුතු කළා. තරඟය ආරම්භ වී 10 වැනි විනාඩියේදී තරඟය නතර කරමින්, ලොව බිහි වූ මේ විශිෂ්ට ක්‍රීඩකයාට අවසන් ගෞරව දක්වන්න දෙපිලේ සගයින්, පුහුණු කරුවන් මෙන්ම රැස්ව සිටි 85,000 කට අධික ප්‍රේක්ෂකයන් කටයුතු කළා. තමා ක්‍රීඩා කල අවසාන තරඟයෙත් ස්වර්ණමය මතක රැසක් එකතු කර ගත් ලියොනල් මෙසී, එහිදී එක් ගෝලයක් සහ ගෝල ලබා ගැනීමට සහයවීම් ද්විත්වයක් ලබා දෙමින් තරගය 3 – 0 ක් ලෙස ජයග්‍රහණය කරන්න සමත් වුණා.
තරඟයෙන් පසු ආර්ජන්ටිනාවේ අදුරු වූ අහස් ගැබ තුළ මේ විශිෂ්ටයාගේ රූප රටා මවමින් විශිෂ්ට සමුගැනීමේ මතකයක් එක් කරන්න ආර්ජන්ටිනුවන් කටයුතු කරා. අවසානයේ තමන්ට ආදරය කළ, ක්‍රීඩාංගණයේ රැස්ව සිටි මෙන්ම තමන්ව නරඹමින් සිටි ලෝක වාසි සියළු දෙනාට තමන්ගේ හඬ අවදි කලේ සියළු දෙනා සංවේදී කරමින්. එහිදි තමන්ගේ ලෝකයේ වීරයා වූ තම පියාවත් සිහි කළ මෙසී, සියළු දෙනාට තම ස්තූතිය හදවතින් ප්‍රකාශ කළා.
පාපන්දු ලොවේ බිහි වූ මේ ශ්‍රේෂ්ටතම, මායාකාරී විශිෂ්ට ක්‍රීඩකයා යළි කිසිදු දිනක ආර්ජන්ටිනා ජර්සිය පැලඳ ක්‍රීඩා නොකිරීම සංවේදි දෙයක් වුණත්, ඔහු ලබා දුන් අමරණීය මතක සැමදාක ම මේ ලෝකය පුරා මතකයක් වී පවතීවී. ආර්ජන්ටිනාවේ මෙසී නිර්මාණය කළ ස්වර්ණමය යුගය මෙයින් අවසන් වූවත් ඔහු නැති අඩුව සෑම මොහොතකම ආර්ජන්ටිනාවට මෙන්ම මුළු පාපන්දු ලෝකයටම පුරවන්න බැරි හිස් තැනක් වේවී.
ස්තූතියි, ලියොනල් අන්ඩ්‍රෙස් මෙසී, පාපන්දු ලෝකය ලස්සන කලාට.






















