නුවන් තුෂාරට සහ කුසල් මෙන්ඩිස්ට PSL වරම්!

Pakistan Super League 2023

864

පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ  දැනට කණ්ඩායම්වලට වෙන්දේසි වී ඇති ක්‍රීඩකයින් වෙනුවට ආදේශක ක්‍රීඩකයින් තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දෙමින් ඊයේ (25) තවත් ක්‍රීඩක වෙන්දේසියක් (Replacement Draft) පැවැත්වුණු අතර එහි දී ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් සහ නුවන් තුෂාර යන අය කණ්ඩායම් දෙකක් මගින් මිල දී ගත්තා.

8 වැනි PSL තරගාවලිය මේ වසරේ පෙබරවාරි මාසයේ 13 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර, එය මාර්තු 19 වැනිදා තෙක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අදාළ තරග පැවැත්වෙන කාල වකවානුව තුල බටහිර ඉන්දීය කොදෙව් – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය, එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගාවලිය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය වැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි කිහිපයක් ම පැවැත්වීමට නියමිත ව ඇති නිසා PSL වෙත ගිවිසුම් ගත වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ම සම්පූර්ණ තරගාවලිය ම ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වන්නේ නැහැ.

මේ හේතුව නිසා PSL කණ්ඩායම් විසින් කළ ඉල්ලීමක් සලකා බලා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කණ්ඩායමක ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ දමමින් තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් කණ්ඩායමට එකතු කර ගැනීමට (Supplementary Players) අවස්ථාව සලසා දුන් අතර, ඊට අමතරව සමස්ත තරගාවලිය ම ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයින් ව අර්ධ වශයෙන් ප්‍රතිස්ථාපනය කිරීමේ අවස්ථාව ද (Partial Replacement) කණ්ඩායම්වලට ලබා දුන්නා.

ඒ අනුව ඊයේ පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියේ දී Quetta Gladiators කණ්ඩායම විසින් ක්‍රීඩක ප්‍රතිස්ථාපනයක් ලෙස ශ්‍රී ලංකා වේගපන්දු යවන නුවන් තුෂාර සිය කණ්ඩායමට එක්කර ගත් අතර, Lahore Qalandars කණ්ඩායම විසින් ක්‍රීඩක ප්‍රතිස්ථාපනයක් ලෙස කුසල් මෙන්ඩිස්ව තෝරා ගෙන තිබෙනවා.

මීට අමතරව ලබන මාර්තු මාසයේ තුන්වැනිදායින් අනතුරුව PSL තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව නො ලැබී යන වනිඳු හසරංග වෙනුවට කිසිදු ආදේශක ක්‍රීඩකයකු ලබා නොගැනීමට ඔහු ක්‍රීඩා කරන කණ්ඩායම වන Quetta Gladiators කණ්ඩායම තීරණය කර තිබීම විශේෂත්වයක්.

(වනිඳුට බොහෝ විට Gladiators කණ්ඩායම සමඟ මුල් තරග හය පමණක් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනු ඇත.)

මීට අමතරව බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක Kieron Pollard හට ද 2019 වසරෙන් පසුව නැවත PSL තරගාවලියට සහභාගී වීමට අවස්ථාව උදා වූ අතර ඔහු මෙන්ම විස්සයි විස්ස පිටියේ දස්කම් දක්වන තවත් විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ම මෙම වෙන්දේසියේ දී PSL කණ්ඩායම් සමග එකතු වුනා.

ඊයේ පැවැත්වුණු වෙන්දේසියේ දී PSL කණ්ඩායම් මගින් Supplementary සහ Replacement කාණ්ඩ යටතේ ලබා ගත් ක්‍රීඩකයින් මෙසේයි.

Peshawar Zalmi –

  • Supplementary: Khurram Shahzad and Haris Sohail.
  • Replacement: Richard Gleeson

Lahore Qalandars –

  • Supplementary: Ahsan Bhatti.
  • Replacement: Sam Billings, Shane Dadswell, කුසල් මෙන්ඩිස්

Islamabad United –

  • Supplementary: Tom Curran, Zafar Gohar.
  • Replacement: Gus Atkinson, Tymal Mills

Karachi Kings –

  • Supplementary: Ben Cutting, Musa Khan.
  • Replacement: Faisal Akram

Quetta Gladiators –

  • Supplementary: Qais Ahmed, Saud Shakeel.
  • Replacement: Dwaine Pretorius, Will Jacks, නුවන් තුෂාර

Multan Sultans –

  • Supplementary: Kieron Pollard, Ammad Butt.
  • Replacement: Wayne Parnell, Izharulhaq Naveed.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<