පාකිස්තාන ක්‍රිකට් මුල් පුටුවල සිදු වූ වෙනස Babarට කෙසේ බලපායි ද?

1776

පසුගිය දින කිහිපයේ පාකිස්තාන ක්‍රිකට් පරිපාලනයේ සිදු වූ යම් වෙනස් කම් පිළිබඳ වත්මන් පාකිස්තානය නායක Babar Azam විසින් සිය අදහස් පළ කර තිබෙනවා.

ඉතිහාසයේ ප්‍රථම වරට සිය රටේ දී සම්පූර්ණ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් පරාජය වීමට (එංගලන්තයට එරෙහිව) පසුගිය දා පාකිස්තාන කණ්ඩායමට සිදු වූ අතර, එයින් පසුව පාකිස්තානය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Ramiz Raja ව තනතුරෙන් පහ කෙරුණා. ඉන්පසුව හිටපු නායක Shahid Afridiව පාකිස්තාන පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ අන්තර් කාලීන තේරීම් කමිටු සභාපති ලෙස ද නම් කෙරුණා.

පරාජිත එංගලන්ත තරගාවලියෙන් පසුව නැවතත් නවසීලන්තය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සූදානම් වන පාකිස්තාන නායකයා විසින් මෙම සිදුවීම් දෙක පිළිබඳ ව ම සිය අදහස් මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

2021 වසරේ Ehsan Maniගේ ඉවත් වීමෙන් පසුව Ramiz Raja විසින් පාලක මණ්ඩල ප්‍රධානී ලෙස වගකීම් බාර ගත් අතර, ඔහුගේ හදිසි ඉවත් කිරීමෙන් පසුව Najam Sethi හට එම වගකීම පැවරී තිබෙනවා.

එමෙන්ම Shahid Afridiගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර් කාලීන තේරීම් කමිටුවේ අනෙක් සාමාජිකයින් ලෙස Abdul Razzaq සහ Rao Iftikhar Anjum යන අය නම් කර තිබෙනවා.

මෙම වෙනස් වීම් පිළිබඳ අදහස් දක්වමින් Babar සඳහන් කළේ, ඒවා තමාගේ ක්‍රිකට්වලට බලපෑමක් එල්ල නො කරන බවයි.

“පසුගිය දවස් තුන – හතරේ දී ගොඩක් දේවල් වෙනස් වුනා. වෘත්තීය ක්‍රීඩකයින් විදිහට අපට ඒක දැනෙනවා. නමුත් අපි ඒවා එක්ක ඉදිරියට යා යුතුයි. අපේ වගකීම තමයි හැකි උපරිමයෙන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම.

පිටියෙන් එළියේ මේ වගේ දේවල් වෙනවා, ඒත් අපි ඉලක්ක කරන්නේ ඉදිරි ටෙස්ට් තරගාවලිය. අපි බලන්නේ කොහොමද හොඳ ආරම්භයක් ගන්නේ සහ කොහොමද හොඳින් ක්‍රීඩා කරන්නේ කියන එක ගැන. අපි පසුගිය තරගාවලියේ හොඳින් දස්කම් පෙන්වුවේ නැහැ සහ සුළු වැරදි කිහිපයක් කළා. ඒවා නිවැරදි කර ගෙන ඉදිරි තරගාවලියට මුහුණ දිය යුතුයි.”

මේ අතර Mohammad Wasimගේ ප්‍රධානත්වයෙන් පැවති පාකිස්තාන ක්‍රිකට් තේරිම් කමිටුවේ වගකීම Shahid Afridi අතට මාරු වීමත් සමඟින් නැවතත් ප්‍රවීණ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම කණ්ඩායමට එක් වීමට ඉඩ ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව තේරීම් කමිටු සාමාජිකයින් විසින් වැඩ බාර ගැනීමෙන් පසුව පළමුව නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය නම් කළ අතර එයට Mir Hamza, Shahnawaz Dahani සහ Sajid Khan යන ක්‍රීඩකයින් ව ඇතුළත් කර තිබෙනවා.

එම තේරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් Afridi පවසා සිටියේ Babar Azam යනු පාකිස්තාන කණ්ඩායමේ කොඳුනාරටිය බව සහ ඔවුන්ගේ සහය ද ඔහුට ලබා දෙන බවයි.

එමෙන්ම ක්‍රීඩකයින් දිගින් දිගටම ක්‍රීඩා රටා තුනක තරගවල යෙදීම මගින් ඔවුන්ගේ ශරීරවලට දරා ගැනීමට නොහැකි මට්ටමේ බරක් පැටවී ඇති බවත්, Dahani වැනි දක්ෂතා පෙන්වන වේගපන්දු යවන්නන්ට ද අවස්ථාව ලබා දිය යුතු බවත් Afridi එහි දී පවසා තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<