ඔවුන් මාව මානසික ව වැට්ටුවා; Warner නැවතත් සිය හඬ අවධි කරයි

South Africa vs Australia 2022/23

1904
Australia's batsman David Warner walks off the field after his dismissal on day one of the fourth Ashes cricket Test match between Australia and England at the Sydney Cricket Ground (SCG) on January 5, 2022. - -- IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE -- (Photo by DAVID GRAY / AFP) / -- IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE -- (Photo by DAVID GRAY/AFP via Getty Images)

බටහිර ඉන්දීය කොදෙව් දේශය සමඟ පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට (පර්ත් තරගයට) පෙර තමන් හොඳ මානසික මට්ටමක නොසිටි බව ඕස්ට්‍රේලියානු ආරම්භක පිති කරු David Warner පවසනවා.

හෙට (26) දකුණු අප්‍රිකාවට එරෙහිව තමන්ගේ 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වීමට සූදානමින් සිටින Warner ඊයේ (24) මාධ්‍ය හමුවකට සම්බන්ධ  වූ අතර, එහි දී ඔහු තමන්ගේ නායකත්ව තහනම ඉවත් කර ගැනීමට කළ අභියාචනයට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මගින් දැක්වූ ප්‍රතිචාරය පිළිබඳ සිය අසතුට නැවත වරක් ප්‍රකාශ කළා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් මගින් එම ඉල්ලීමට දැක්වූ ප්‍රතිචාර තම මානසික සෞඛ්‍යයට ද බලපෑම් එල්ල කළ නමුත්, එය බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ ටෙස්ට් තරගාවලියට සහභාගී නොවී සිටීමට තමන් හේතුවක් කරන නොගත් බවත් Warner එහි දී අවධාරණය කළා.

තමන්ගේ අභියාචනය අප්‍රසිද්ධියේ ම විභාගයට ගනු ඇතැයි Warner විශ්වාස කළත්, එය නිරීක්ෂණය කිරීමට පත් කළ කමිටුව විසින් එය ප්‍රසිද්ධියට පත් කළ යුතු බව පවසා තිබුණා.

එයින් පසුව තම පවුල “ක්‍රිකට්වල කුණු රෙදි සෝදන යන්ත්‍රයක්” නොවන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් Warner විසින් සිය අභියාචනය ඉල්ලා අස් කර ගත්තා.

“මේක මේ තරම් දුර දිග යාවි කියලා මම හිතුවේ නැහැ. සිද්ධ වුනේ මොකක්ද කියලා කියන්න මට කිසිම අදහසක් නැහැ. CA (Cricket Australia) විතරයි ඒ ගැන හරියටම කියන්න දන්නේ. ඒත් ඔවුන් මේකටත් අනිත් හැමවෙලාවකම දෙනවා වගේ ලිස්සලා යන උත්තරයක් දේවී. ඔවුන් කවදාවත් හරි පිළිතුරක් දෙන්නේ නැහැ.

පර්ත් ටෙස්ට් තරගයට කලින් මගේ මානසික සෞඛ්‍ය 100%ක්ම ස්ථාවර මට්ටමක තිබුණේ නැහැ. ඒ මොහොතේ මට ඒක ලොකු අභියෝගයක් වුනා. CA වලින් මට කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. මගේ කණ්ඩායම් සහයකයින් , ක්‍රීඩකයින් , මිතුරන් වගේම පවුලේ අයත් ඒ කාලය ඇතුළේ මා එක්ක හිටියා. “

ඊයේ Warner සහභාගී වූ මාධ්‍ය හමුවේ දී තමන් ආසන්න දින වල මුහුණ දුන් අසීරුතාවයන් ගැන Warner එසේ සිය හඬ අවධි කළා.

එමෙන්ම තමන්ට කෙතරම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වුනත් එවා තරගයට ඉදිරිපත් නොවී සිටීමට හේතුවක් කර නොගත් බවත් ඔහු එහි දී තවදුරටත් සඳහන් කළා.

“පසුබහින්න හෝ ඉවත් වෙන්න මට කිසිම විදිහක අදහසක් තිබුණේ නැහැ. මට දැනෙනවා ඕනෑම දෙයක් ජය ගන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මම  අවධානය ලබා දුන්නේ ලකුණු රැස් කිරීම වෙනුවෙන් සහ කණ්ඩායම වෙනුවෙන් මට කළ හැකි හොඳම දේ කරන්නයි.

මම ඉදිරියට කරන්නෙත් ඒ දේම තමයි. මොකද මම ඒ හිටපු තත්වයෙන් දැන් මිදිලා ඉන්නේ.  දැන් මගේ මානසික සෞඛ්‍ය ඉතාමත් ඉහළයි.”

දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලියෙන් පසුව CA සමඟ නැවතත් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් මෙහි දී Warner විසින් පවසා සිටියා.

“මේ සංවාදය තරගාවලියෙන් පස්සේ මම ඉදිරියට ගෙන යනවා, දැන් අවශ්‍ය වෙන්නේ දකුණු අප්‍රිකාව සමඟ තරගාවලිය ක්‍රීඩා කරන්න අවශ්‍ය නිවැරදි මානසික මට්ටමේ රැඳී සිටීමයි. Boxing day ටෙස්ට් මැච් එකක් අපට ලැබිලා තියෙනවා ඒ වගේම අපි දැන් තරගාවලියේ හොඳ මට්ටමක ඉන්නවා.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<