Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු!

2783

පසුගිය දා නිමාව දුටු එංගලන්තය සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් ක්‍රිකට්  තරගාවලියෙන් ලද පරාජය පිළිබඳව හිටපු පාකිස්තාන ක්‍රිකට් සභාපති Ramiz Raja විසින් නායක Babar Azamට සහ පුහුණුකරු Saqlain Mushtaq හට සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

මීට අමතරව පාකිස්තාන නායක Babar Azamව ලබන වසරේ ජූලි මාසයෙන් පසු ටෙස්ට් නායකත්වයෙන් ඉවත් කිරීමටත්, පුහුණුකරු Saqlain Mushtaq ලබන ජනවාරිවල නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් පසුව ධුරයෙන් ඉවත් කිරීමටත් ඉඩ ඇති බව ඉන්දියානු පුවත් සේවයක් වන PTI විසින් වාර්තා කරනවා.

පසුගිය දා නිමා වුන එංගලන්ත තරගාවලියේ දී ලද 3-0ක පරාජයෙන් පසුව Babar සහ Saqlain ලාහෝර් සිට කරච්චි වෙත පියාසර කර ඇති අතර, එහි දී ඔවුන් හිටපු පාකිස්තාන ක්‍රිකට් සභාපති Ramiz Raja (Ramiz එවකට තනතුර දරමින් සිටියා) සමඟ සාකච්ඡාවකට සහභාගී වී තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායම සිය රට තුල දී ටෙස්ට් තරගාවලියක සියලු තරග පරාජය වූ ප්‍රථම අවස්ථාව එය වන අතර, කැලැන්ඩර් වර්ෂයක් තුල සිය රටේ දී පිට පිටම ටෙස්ට් තරග හතරක් පරාජය වූ පළමු පාකිස්තාන නායකයා බවට Babarගේ නම ඉතිහාසයට එකතු වුනා.

“ගඩාෆි ක්‍රීඩාංගණයේ දී සභාපති Ramiz Raja සහ තේරීම් කමිටු ප්‍රධානී Mohommad Wasim සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වුනා.

පැය තුනකට ආසන්න කාලයක් රැස්වීම පැවැත්වුණා, එහි දී කණ්ඩායමේ සෑම අංශයක් ම, තේරීම් කටයුතු, නායකත්වය වගේම පුහුණු කරුගේ භූමිකාව ගැනත් කතාබහට ලක් වුනා.”

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සාමාජිකයකු විසින් එසේ මෙම හමුව ගැන හෙළිකර තිබුණා.

පසුගිය අඟහරුවාදා වන තෙක් පාකිස්තාන ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළ Ramiz Raja එම හමුවට සහභාගී වූ නමුත්, බදාදා දිනයේ දී ඔහුට ද සිය තනතුර අහිමි ව ගියා. ඒ අනුව Najam Sethi නව පාකිස්තාන ක්‍රිකට් සභාපති ධුරයට පත්වුනා.

පසුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය මගින් නවසීලන්තය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා (දෙසැම්බර් 26 ආරම්භ වීමට නියමිතයි) 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ අතර එහි නායකත්වය Babar Azamට හිමි වී තිබෙනවා.

හිටපු සභාපති Ramiz Raja පෙර තරගාවලිය වෙනුවෙන් සිදු කළ තේරීම් පිළිබඳ එතරම් ම පැහැදීමකට පත් වී නැහැ.

පෙර සාකච්ඡාවේ දී Babar විසින් තරගාවලියේ පරාජයට නිදහසට කරුණු ලෙස දක්වා ඇත්තේ, ඔවුන්ගේ ප්‍රධාන වේගපන්දු යවන්නන් තිදෙනා වන Shaheen Afridi, Haris Rauf සහ Naseem Shah යන ක්‍රීඩකයින්ගේ ආබාධ නිසා සිය කණ්ඩායමේ පන්දු යැවීම දුර්වල වූ බවත්, එංගලන්ත පිතිකරුවන් පහසුවෙන් ලකුණු ලබා ගත් බවත් ය.

Babar වහාම ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් කිරීමෙන් ඔහුගේ ධෛර්යයට බලපෑමක් එල්ල කළ හැකි බැවින් දැනට ඔහුව එම තනතුරේ රඳවා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර, එසේ නොවේ නම් නායකත්වය බොහෝ දුරට Shan Masoodට හෝ Mohommad Rizwanට හිමි වීමට ඉඩ ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

නමුත් ඉක්මනින් සිදු නොවුනත් ලබන ජූලි මාසය වන විට Babarගේ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනෙනු ඇති බවත් එම ආරංචි මාර්ගවල සඳහන් වනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතුවිත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

India Today ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<