ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිංගප්පූරුව හමුවේ අසරණ වෙති!

Asian Youth Netball Championship 2023

2323

2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ දී ප්‍රබල සිංගප්පූරුව හමුවේ ලකුණු 51-29ක පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද (13) සිදු වුනා.

දකුණු කොරියාවේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් මීට පෙර ක්‍රීඩා කළ තරග දෙකේ දී ම සත්කාරක දකුණු කොරියාවට සහ බෲනායි දේශයට එරෙහිව ඉතා පහසු ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් ව සිටි නමුත් ඔවුන් අද දිනයේ නම් සිංගප්පූරුව හමුවේ තරමක පසුබෑමක් ප්‍රදර්ශනය කළා.

මෙම තරගයේ පළමු කාර්තුවේ දී දෙපිළ ම කරට කර සටනක නිරත වූ අතර කාර්තුව නිමා වන විට ශ්‍රී ලංකාව ලකුණු 8ක් සහ සිංගප්පූරුව ලකුණු 11ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

නමුත් තරගයේ දෙවැනි කාර්තුවේ දී සිංගප්පූරුව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව තිබූ ලකුණු පරතරය ඉහළ නංවා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් සිය ලකුණු පුවරුවට එක් කර ගනිමිනුයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙවැනි කාර්තුවේ දී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 5ක් පමණයි.

තරගයේ තෙවැනි කාර්තුවේ ද සිය ආධිපත්‍යය පැතිරවීමට සිංගප්පූරුව සමත් වුනේ ලකුණු 15ක් සිය ලකුණු පුවරුවට එක් කර ගනිමිනුයි. එමෙන්ම ශ්‍රී ලංකාවට මෙම තරගය තුළ නැවත හිස එසවීමට වරම් නොලැබෙන බව සනාථ කරමින් එම කාර්තුවේ දී ශ්‍රී ලංකාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 9ක් පමණයි.

තරගයේ සිව්වැනි කාර්තුවේ දී සිංගප්පූරු ක්‍රීඩිකාවන් විසින් තවත් ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 7ක් පමණයි.

අවසන් ලකුණු තත්වය : සිංගප්පූරුව 51-29 ශ්‍රී ලංකාව

මේ අනුව අද දිනයේ ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ පළමු පරාජය අත්විඳීමට සිදු වුනා. කෙසේ වෙතත් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත අවසන් තරගය හෙට (14) චීන තායිපේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ මෙන් ම තරගාවලියේ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<