LPL ශූරයින්ට නව හිමිකරුවෙක්

ලංකන් ප්‍රිමියර් තරගාවලිය 2021

1161

LPL 2021 තරගාවලියේ යාපනය නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායමේ (Jaffna-based franchise) හිමිකාරිත්වය  ලබා ගැනීමට බ්‍රිතාන්‍ය බහුජාතික සමාගමක් වන Lyca සමූහය සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන්, බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන Allirajah Subaskaranගේ හිමිකාරිත්වය යටතේ මෙවර අදියර සඳහා සහභාගී වීමට නියමිතයි.

යාපනයට අදාළ කණ්ඩායමේ (Jaffna-based franchise) හිමිකාරිත්වය ලබා ගනිමින් තරගාවලියට එක්වීම පිළිබඳව අදහස් දක්වමින් Allirajah Subaskaran ප්‍රකාශ කර සිටියේ,

මම LPL තරගාවලිය ලබා ගත් වර්ධනය පිළිබඳව නිරීක්ෂණය කළා. එය දර්ශනීය ක්‍රීඩා ඉසව්වක් බවට මේ වෙද්දී පත්වෙලා තිබෙනවා. ඒ වගේමයි ක්‍රිකට් කාලසටහනේ ප්‍රධාන තරගාවලියක් බවට මෙය පත්වෙයි කියලා මම විශ්වාස කරනවා. පසුගිය වසරේ ශූරතාවය දිනා ගත් කණ්ඩායමට මුදල් ආයෝජනය කිරීම හොඳ ආයෝජනයක්. ඒ වගේමයි මට දිවයිනේ උතුරු (යාපනය) ප්‍රදේශය සමඟ හැඟීම්බර මතකයන් කිහිපයක්ම තියෙනවා.

Lyca සමූහයේ නිර්මාතෘ මෙන්ම සභාපතිවරයා වන Allirajah Subaskaran සිය ව්‍යාපාරය එක්සත් රාජධානියේ මෙන්ම දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුළ ද ඉතා හොඳින් වර්ධනය කර ගැනීමට සමත්ව ඇති අතර ඔහුගේ පැමිණීම LPL තරගාවලියේ ප්‍රවර්ධනයට විශාල ශක්තියක් වනු ඇත.

Lyca සමූහය මෙම තරගාවලිය සමඟ අත්වැල් බැඳ ගැනීම පිළිබඳව අදහස් දක්වමින් LPL තරගාවලියේ මෙහෙයුම් කටයුතු සිදු කරන IPG සමාගමේ ප්‍රධානී Anil Mohan මහතා ප්‍රකාශ කර සිටියේ,

Allirajah Subaskaran මහතා යාපනය කණ්ඩායමේ හිමිකරු ලෙස පිළිගැනීමට ලැබීම මට ඉමහත් සතුටක්. ඔහුගේ ක්‍රීඩාවට ඇති ඇල්ම නිසාවෙන් මෙම කණ්ඩායම සමඟ සම්බන්ධ වෙලා එහි රසිකයන් සහ එයට සම්බන්ධ පාර්ශවයන් සමඟින් ඉදිරියට යන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

LPL තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයන් ලැයිස්තු ගත කිරීම (Player’s Draft) ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී සිය කණ්ඩායම සඳහා සුපිරි විදෙස් ක්‍රීඩකයන් මෙන්ම දේශීය ක්‍රීඩකයින් ද එකතු කර ගනිමින් පෙර පරිදිම ශක්තිමත් කණ්ඩායමක් ගොඩ නැගීමට යාපනය කණ්ඩාය (Jaffna-based franchise) නව හිමිකරු බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගාවලියේ පළමු අදියර අතිසාර්ථකව අවසන් කිරීමට හැකි වූ අතර අවසන් තරගයේ දී Galle Gladiators පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට Jaffna Stallions ක්‍රීඩකයන්ට හැකි වුනා.

LPL තරගාවලියේ දෙවැනි අදියර මෙම වසරේ ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් කොරෝනා වසංගතය නිසාවෙන් එය දෙසැම්බර් 04 වැනිදා සිට 23 වැනිදා දක්වා කල්දැමීමට සංවිධායකයින්ට සිදු වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<