2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හය වැනි දිනය ඊයේ (29) නිමාවට පත් වූ අතර, ශ්‍රී ලංකාව විසින් ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම ජය ගැනීමට සමත් වුනා.
ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට අවතීර්ණ වූ අතර, ඒ අතුරින් පිරිමි කවපෙත්ත විසි කිරීම F42-44/F61-64 ඉසව්ව නියෝජනය කළ පාලිත බණ්ඩාර විසින් මීටර් 46.84ක දක්ෂතාවක් සමඟ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා.
පාලිත බණ්ඩාර විසින් 2022 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ද රිදී පදක්කමක් ජය ගැනීමට සමත් වූ අතර, මෙවර මෙම ඉසව්ව වෙනුවෙන් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ද සමඟින් රිදී පදක්කමක් නැවත හිමි කර ගැනීමට සමත් වුනා.
මේ අතර පිරිමි මීටර් 200 මූලික වටයේ තරග ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, එහි හත් වැනි තරගයට සහභාගී වූ අරුණ දර්ශන තත්පර 20.96ක තරග නිමි කාලයක් වාර්තා කරමින් 04 වැනි ස්ථානය ලබාගන්නා අතරේ, ඉසව්වේ 10 වැනි තරගය නියෝජනය කළ මලිත් තමෙල් තත්පර 20.99ක කාලයක් සමඟ දෙවැනි ස්ථානයට පත් වුනා.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට ම මෙම ඉසව්වේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
එමෙන්ම ඊයේ දිනයේ දී පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ මූලික වටයේ තරග ද ක්‍රියාත්මක වුනා. එහි 02 වැනි තරගයට සහභාගී වූ අසිත තරංග විසින් තත්පර 53.04ක කාලයක් වාර්තා කරමින් 06 වැනි ස්ථානයට පත් වූ අතර, 03 වැනි තරගයට සහභාගී වූ අයෝමාල් අකලංක තත්පර 50.27ක තරග නිමි කාලයක් සමඟ තෙවැනි ස්ථානයට පත් වීමට සමත් වුනා.
කෙසේ වෙතත් ඔවුන්ට ද ඊයේ සිය ඉසව්වෙන් ඉදිරියට යාමට හැකි වුනේ නැහැ.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මේ අතර ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බොක්සිං අර්ධ අවසන් පූර්ව තරග ද්විත්වයකට සහභාගී වුනා.
කාන්තා 57Kg Featherweight බර පන්තිය යටතේ තරග වැදුණු කෙශානි කස්තුරි ආරච්චි ෆීජි ක්‍රීඩිකාවක් හමුවේ 1-4ක් ලෙස පරාජයට පත් වූ අතර, 51Kg Lightweight බර පන්තිය යටතේ තරග වැදුණු නදීකා පුෂ්පකුමාරි නැමීබියා ක්‍රීඩිකාවක් හමුවේ 4-0ක පරාජයක් ලබමින් තරග ඉසව්වෙන් ඉවතට විසි වී ගියා. ඒ අනුව බොක්සිං ඉසව්වෙන් පදක්කම් ද්විත්වයක් වෙනුවෙන් තබා තිබූ බලාපොරොත්තු නිමාවට පත් වුනා.
මේ අතර කාන්තා 86Kg බර ඉසිලීම ඉසව්ව නියෝජනය කළ චතුරිකා ප්‍රියන්ති විසින් සමස්ත බර 187Kg එසවීමට සමත් වූ අතර, ඉසව්වේ 09 වැනි ස්ථානය ඇයට හිමි වුනා.
ක්‍රීඩා උළෙලේ 07 වැනි දිනය අද ක්‍රියාත්මක වීමට නියමිතයි.
අද දිනයේ දී පිරිමි හෙල්ල විසි කිරීමේ මූලික වටයේ තරග පැවැත්වීමට නියමිත අතර, එම තරග ඉසව්ව සඳහා රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ සහභාගී වීමට නියමිතයි.
එමෙන්ම අද සවස කාලිංග කුමාරගේ විසින් පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට සහභාගී වීමට නියමිත අතර, අද රාත්‍රියේ දී කාන්තා තුන් පිම්ම ඉසව්වේ අවසන් තරගය නියෝජනය කිරීමට මදුශානි හේරත් සූදානමින් සිටිනවා.
තවදුරටත් මෙවර ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණේ රැඳීමට ඕස්ට්‍රේලියාව සමත් වී සිටින්නේ රන් පදක්කම් 47ක් සමඟයි. පාලිත බණ්ඩාර දිනූ රිදී පදක්කමත් සමඟ ශ්‍රී ලංකාව ද මෙවර ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනට එක් වීමට සමත් වූ අතර, මේ වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 20 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















