සත්කාරක දේශය අන්ත අසරණ කරන්නට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් සමත් වෙයි!

ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවය 2023

4228
asian youth netball championship 2023

දකුණු කොරියාවේ දී පැවැත්වෙන 2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ සිය පළමු තරගය ක්‍රීඩා කරමින් සත්කාරක දකුණු කොරියාවට එරෙහිව ලකුණු 94-08ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (11) සමත් වුනා.

12 වැනි වරට පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලිය ඊයේ (10) ආරම්භ වූ අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය වූයේ මෙයයි.

අද තරගයේ පළමු කාර්තුවේ පටන් ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ ආධිපත්‍යය සියතට ගනිමින් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර පළමු කාර්තුව නිමා වෙද්දී ඔවුන් ලකුණු පුවරුව වෙත ලකුණු 25ක් එකතු කිරීමට සමත් වුනා. නමුත් දකුණු කොරියාව එම කාලසීමාව තුල ලබා ගත්තේ ලකුණු 03ක් පමණයි.

දෙවැනි කාර්තුවේ දී ද දකුණු කොරියා ක්‍රීඩිකාවන් ලබා ගැනීම සමත් වුනේ ලකුණු 03ක් පමණක් වන අතර, ශ්‍රී ලංකාව විසින් දෙවැනි කාර්තුවේ දී තවත් ලකුණු 24ක් ලබා ගනිමින් සිය මුළු ලකුණු සංඛ්‍යාව 49ක් දක්වා ඉහළ නැංවීමට සමත් වුනා.

තෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාව තවත් ලකුණු 19ක් රැස් කරද්දී දකුණු කොරියාවෙන් වාර්තා වුනේ ලකුණු 02ක් පමණයි. කෙසේ වෙතත් ඉන්පසුව එකඳු ලකුණක් හෝ දකුණු කොරියානු පාර්ශවයෙන් ලකුණු පුවරුවට එක් නොවූ අතර තරගයේ සිව්වැනි සහ අවසන් කාර්තුව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ අණසකට නතු වුනා.

ඔවුන් එහි දී තවත් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනේ සමස්ත ලකුණු ප්‍රමාණය 94ක් දක්වා ඉහළ දමමිනුයි. කෙසේ වෙතත් ඒ වන විට දකුණු කොරියානු පාර්ශවයෙන් වාර්තා වී තිබුණේ ලකුණු 08ක් පමණයි.

  • අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 94 – 08 දකුණු කොරියාව

මේ අනුව මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරගය ම විශිෂ්ට අයුරින් ජයග්‍රහණය කරමින් තරගාවලියට විශිෂ්ට ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් විසින් සමත් වූ අතර ඔවුන්ගේ මීළඟ තරගය හෙට (12) බෲනායි දේශය සමඟ පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ සියලු විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<