2020 ගිම්හාන ඔලිම්පික් උළෙල අද (23) ජපානයේ ටෝකියෝ හිදී නිල වශයෙන් ආරම්භ වූයේ Covid-19 ගෝලීය වසංගත තත්වය හේතුවෙන් ගිලිහී ගොස් තිබූ දස දහසකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින්.

රටවල් 205ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා 33ක් මුල්කර ගෙන පවත්වනු ලබන තරග ඉසව් 339ක් නියෝජනය කිරීමට සමත්ව තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 11,326ක්.

Tokyo Olympic Opening Ceremonyශ්‍රී ලංකා වේලාවෙන් සවස 4:30ට ආරම්භ වූ ජපන් සංස්කෘතික අංගවලින් විචිත්‍රවත් වුන සමාරම්භක උළෙල සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම රාජ්‍ය නායකයින් 15 දෙනෙකු සහ ක්‍රීඩාව හා සම්බන්ධ නිලධාරීන් ඇතුළු සීමිත පිරිසක් පමණක් සහභාගී වී සිටියා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස එකතු වූ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ඒ අතර සිටියා.

කෙසේ නමුත් සමාරම්භක උළෙලට මෙන්ම ඔලිම්පික් හි කිසිදු තරගයක් නැරඹීමට ප්‍රේක්ෂකයින් සඳහා මෙවර අවසන් හිමිවන්නේ නැහැ. ඒ මේ වන විට ජපානය තුල උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමිනි.

>> සමාරම්භක උළෙලේ ඡායාරූප ඇල්බමයට මෙතැනින් පිවිසෙන්න <<

කෙසේ නමුත් ලොවපුරා මාධ්‍ය ආයතන විසින් උත්කර්ෂවත් සමාරම්භක උළෙල සජීව ලෙස ලොවපුරා විසිර සිටින ප්‍රේක්ෂක ජනතාව වෙත සමීප කළ අතර සිය රටේ ධජයත් සමඟින් ප්‍රථමයෙන් පිටියට පිවිසියේ ග්‍රීසියේ ඔලිම්පික් සංචිතයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ද විචිත්‍රවත් ලෙස සැකසුණු දේශීයත්ව පිළිඹිබු කරනා ඇදුමකින් යුතුව ක්‍රීඩාංගණයට පිවිසියේ ශ්‍රී ලංකා ධජය අභිමානවත් ලෙස රැගෙන ගිය ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි සහ ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් පිටුපසිනුයි.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු හට අවස්ථාව හිමිව තිබෙනවා. නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්), යුපුන් අබේකෝන් (ධාවන – මීටර 100), චාමර ධර්මවර්ධන (ජූඩෝ – 73 kg බර පන්තිය), මැතිව් අබේසිංහ (පිහිනුම් – මීටර 100 නිදහස් ආර), මැතිල්ඩා කාර්ල්සන් (Equestrian), නිමාලි ලියනාරච්චි (ධාවන – මීටර 800), මිල්කා ද සිල්වා (Artistic Gymnastics), ටෙහානි එගොඩවෙල (10m Air Rifle) සහ අනිකා ගෆූර් (පිහිනුම් – මීටර 100 සමනල ආර) එලෙස සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්. 

තවද, මෙවර ඔලිම්පික් උළෙලට ශ්‍රී ලාංකිකයන් වශයෙන් තාක්ෂණික මෙහෙයුම් කළමනාකරුවෙකු ලෙස සුජීව විජයනායක සහ බොක්සිං විනිසුරුවරියක ලෙස නෙල්කා ශිරෝමාලා මහත්මිය සහභාගී වී සිටිනවා. 

හෙට (24) දිනයේ දී ටෙහානි එගොඩවෙල 10m Air Rifle සුදුසුකම් ලැබීමේ වටය සඳහා තරග වදින අතර එය මෙරට වේලාවෙන් උදෑසන 5ට ආරම්භ වීමට නියමිතයි. හෙට දිනයේ පස්වරු 3:58ට අනිකා ගෆූර් කාන්තා මීටර 100 සමනල ආර ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගී වනු ඇත. 

පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්වේ තම ප්‍රථම කාණ්ඩ තරගය ලෙස නිලූක කරුණාරත්න F-කාණ්ඩය යටතේ T. W. Wang සමඟ තරග වදිනු ලබන්නේ පස්වරු 4:30ටය. 

ජපානයේ දී පැවැත්වෙන 4 වැනි ඔලිම්පික් උළෙල වන මෙවර ඔලිම්පික් උළෙලේ දී නව ක්‍රීඩා ඉසව් ලෙස 3X3 පැසිපන්දු, Freestyle BMX (BMX බයිසිකල් ස්ටන්ට් තරගයකි), කරාතේ, Sport climbing, Surfing සහ Skateboarding ඇතුළත් කර ඇති අතර Madison cycling, බේස්බෝල් සහ softball යන ක්‍රීඩා ඉසව් නැවත ඇතුළත් කර තිබෙනවා 

හෙට දිනයේ දී දුනු විදීම, බයිසිකල් ධාවනය, කඩු හරඹ, ජූඩෝ, වෙඩි තැබීම, ටයිකොන්ඩෝ සහ බර එසවීම යන ඉසව් වල අවසන් තරග පැවැත්වීමට නියමිතයි.

© BBC

කෙසේ වෙතත් මෙවර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට පෙර ටෝකියෝ හි ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පිටත සිට ඔලිම්පික් උළෙල නොපවත්වන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්වෙන අයුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරණය වුනා. 2020 ඔලිම්පික් නිල වෙබ් අඩවියට අනුව අද (23) දින විට ඔලිම්පික් උළෙල හා සම්බන්ධ පුද්ගලයින් අතුරින් Covid-19 වයිරසය ආසාදනය වී තිබෙන පුද්ගලයින් ගණන 106ක්. 

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<