ආසියානු කුසලානය ලංකාවෙන් පිටතට යන ලකුණු

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

907

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාමට ඉඩ ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාර්ථකව ඕස්ට්‍රේලියා සංචාරයක් පවත්වා අවසන් කර ඇති අතර මේ වන විට පාකිස්තාන තරගාවලියක් සඳහා සත්කාරකත්වය සපයනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආසියානු කුසලානයේ නිල සත්කාරකත්වය දරන නමුත් ESPNcricinfo වෙබ් අඩවිය විසින් පසුගිය දා වාර්තා කර තිබුණේ ආසියානු කුසලානය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා ඩුබායි හි සාජා හිදී පැවැත්වීමට නියමිත බවයි.

පසුගිය දා පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙනවා. මේ සතිය වන විට ශ්‍රී ලංකාව උග්‍ර ඉන්ධන හිඟයකට මුහුණ දී සිටින අතර ආසියානු ක්‍රිකට් කවුන්සලය ඒ පිළිබඳව ද සැලකිලිමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සතිය වන තුරුම, රටෙහි පැවති දරුණු ආර්ථික හා දේශපාලන අර්බුදය නොතකා ආසියානු කුසලානය පැවැත්වීම පිළිබඳව “ඉතා විශ්වාසයෙන්” සිටියා.

ආහාර ද්‍රව්‍ය හිඟ වීමත්, පෞද්ගලික වාහනවලට ඉන්ධන සැපයීම ගැටලුකාරී වීමත්, දෛනික විදුලිය ඇනහිටීමත් සමඟ කෝපයට පත් විරෝධතාකරුවෝ පසුගිය සතියේ දී පාලනයේ වෙනසක් ඉල්ලා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ නිවෙස්වලට කඩා වැදුණා.

කෙසේ වෙතත් මෙම කිසිදු විරෝධතාවයක් ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑවේ නැහැ. ඕස්ට්‍රේලියාව ජුනි මාසයේ අග භාගයේ සහ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වුනා.

ඕස්ට්‍රේලියා තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග පහක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වුනා. මේ වන විට පැවැත්වෙන පාකිස්තාන තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වනවා.

කෙසේ වෙතත්, ද්විපාර්ශ්වික තරගාවලි සත්කාරකත්වය දැක්වීම සහ ආසියානු කුසලානය වැනි තරගාවලියකට සත්කාරකත්වය දැක්වීම බෙහෙවින් වෙනස් වන අතර ඒ සඳහා කණ්ඩායම් 9ක් ඇතුළත් වනවා.

කණ්ඩායම් දෙකකට සත්කාරකත්වය සැපයීම කණ්ඩායම් දහයකට සත්කාරකත්වය සැපයීමට සමාන නැහැ”, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා පසුගිය ඉරිදා ESPNcricinfo වෙත පවසා සිටියා.

ඔවුන් සියල්ලටම ඉන්ධන සහිත බස් රථ දහයක් ලබා දෙන්න ඕනේ. සෑම කණ්ඩායමකටම ඉන්ධන සහිත ගමන් මලු ප්‍රවාහනය කරන්න වෑන් රථයක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම කළමනාකරුවන් ප්‍රවාහනය කරන්න ඕනේ. අනුග්‍රාහකයන්ට ප්‍රවාහනය ලබා දෙන්න ඕනේ. ඔවුන්ට ලැබෙන සැතපුම් ගණන ඔවුන්ට ලැබෙන බව සහතික කරන්න ඕනේ. විදුලි ජනන යන්ත්‍රවලට සහ හදිසි විදුලි පහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ද සොයා ගැනීමට සිදුවේවි.”

ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් ජූලි 22 වැනි දින ආසියානු කුසලාන කාලසටහන ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. තරගාවලියේ ලීග් අදියරේ දී ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකාට දෙවරක් මුහුණ දීමට ඉඩ තිබෙනවා.

සාමාන්‍ය තත්ත්වයන් තුළ දෙරටේම ප්‍රේක්ෂකයන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරුණා. නමුත් ඉන්ධන හිඟය සහ දේශපාලන නොසන්සුන්තාව බොහෝ දුරට එයට බාධාවක් වනු ඇතැයි ද ඈෂ්ලි ද සිල්වා පවසනවා.

ඉන්දියාව සහ පකිස්තානය අතර තරග දෙකක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සහ එම තරඟ නැරඹීමට කැමති අය බොහෝ දෙනෙක් සිටීවි. නමුත් තත්වය නිසා මිනිසුන් ශ්‍රී ලංකාවට පැමිණීමට නැඹුරු නොවේවි”, ද සිල්වා මහතා පවසනවා.

ආසියානු කුසලානය සඳහා වන මෙහෙයුම් පිරිවැය ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් දරනු ලබන අතර, තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පිටත පැවැත්වීම මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආදායමක් අහිමි නොවන නමුත් මෙරට හෝටල් සහ ප්‍රවාහන ක්‍රියාකරුවන් අහිමි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථිකය සැලකිය යුතු ලෙස පාඩු ලබන බව ද සිල්වා පිළිගෙන තිබුණා.

ජුනි සිට සැප්තැම්බර් දක්වා ඉන්දියානු උපමහාද්වීපයේ බොහෝ ප්‍රදේශවල මෝසම් සමය බැවින් ආසියානු ක්‍රිකට් කවුන්සලය හට වෙනත් විකල්ප ස්ථාන සම්බන්ධයෙන් ගත් විට තිබුණේ සීමිත විකල්ප කීපයක් පමණි.

යටිතල පහසුකම් සහ සංචාරකයන් සම්බන්ධයෙන් ගත් විට, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සාර්ථක ස්ථානයක් බව නිර්දේශ වී තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් අගෝස්තු අග සහ සැප්තැම්බර් මුල දී එරට ආර්ද්‍රතාවය සමඟ 40°C ඉක්මවන ආන්තික උෂ්ණත්වයක් පවතිනවා. එය ද තරගාවලිය සඳහා වැදගත් සාධකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඒ අනුව බොහෝ තරග සවස් වරුවේ ආරම්භ වනු ඇත.

පසුගිය වසර පහ තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියානු කුසලානය සඳහා සත්කාරකත්වය දක්වන දෙවන අවස්ථාව මෙය වනවා. මීට පෙර 2018 වසරේ දී පන්දුවාර 50 ආකෘතියෙන් ක්‍රීඩා කරන ලද ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් 15 සිට 28 දක්වා ඩුබායි, අබුඩාබි සහ සාජා හිදී පවත්වා තිබුණා.

ESPNcricinfo ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<