“IPL ටිකක් අවදානම් වෙමින් තියෙනවා” – ඇඩම් ගිල්ක්‍රිස්ට්

12219
NZ Herald

IPL වරලත් කණ්ඩායම් විසින් වෙනත් රටවල් වල විස්සයි විස්ස ක්‍රිකට් ලීගයන් වලට අයත් කණ්ඩායම් මිලට ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවට තරමක් අවදානම් තත්වයක් බවයි හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Adam Gilchrist (ඇඩම් ගිල්ක්‍රිස්ට්) පවසන්නේ.

මේ වන විට IPL ක්‍රිකට් ඒකාධිකාරයක් කරා යන ගමනක අවදානම ඔහු විසින් පැහැදිලි කොට තිබෙනවා. මීට හොඳම උදාහරණයක් ලෙස, ඕස්ට්‍රේලියානු පිතිකරු David Warner (ඩේවිඩ් වෝනර්) මෙවර බිග් බෑෂ් ලීග් තරග වාරයට සහභාගී නොවීමට තීරණය කරන බව අසන්නට ලැබීම මෙහි සටහන් කළ හැකියි.

ඩේවිඩ් වෝනර්ට BBL (Big Bash League) ක්‍රීඩා කරන්නට යැයි ඔවුන්ට බල කරන්නට බෑ. එය මට තේරෙනවා. ඒත් ක්‍රීඩකයෙකු එහෙම ඉවත් වෙන්නට නම් එය IPL කණ්ඩායම් විසින් ගෝලීයව නිර්මාණය කර ගනිමින් සිටින ආධිපත්‍යයේ කොටසක්. CPLහි ඔවුන්ට අයත් කණ්ඩායම් වගේම.”, ගිල්ක්‍රිස්ට් එලෙස පැවසුවේ ජෙරාඩ් වාට්ලි විසින් පැවැත්වූ ගුවන් විදුලි සාකච්ඡාවක දීයි.

ඩේවිඩ් වෝනර් බිග් බෑෂ් තරගාවලිය පැවැත්වෙන කාලයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන වෙනත් තරගාවලියකට සහභාගී වීමට නියමිත බව සඳහන්. UAE T20 league ලෙස හැඳින්වෙන එහි කණ්ඩායම් කිහිපයක් මුම්බායි ඉන්ඩියන්ස්, කොල්කටා නයිට්රයිඩර්ස් සහ දිල්ලි කැපිටල්ස් නම් වරලත් කණ්ඩායම් විසින් මිල දී ගෙන තිබෙනවා. දකුණු අප්‍රිකානු 20-20 ක්‍රිකට් ලීගයේ කණ්ඩායම් කිහිපයක් ද IPL හි වරලත් කණ්ඩායම් විසින් මිල දී ගෙන ඇති බව පසුගිය දා වාර්තා වුනා.

ඒක ටිකක් අවදානම් වෙමින් තියෙනවා. ඒකාධිකාරයක් හැටියට අල්ලා ගැනීම, ක්‍රීඩකයන්ගේ අයිතිය, ක්‍රීඩකයන්ට කොතැන ද ක්‍රීඩා කළ හැක්කේ, කොතැන ද නොහැක්කේ කියන එක ගැන…” ගිල්ක්‍රිස්ට් පැවසුවා.

ඔහු පවසන්නේ වෝනර් මෙන් තවත් ක්‍රීඩකයන් එලෙස තීරණ ගැනීමට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.

අලුත් ක්‍රීඩකයෙකු ඇවිත් එහෙම සද්ද බද්ද දැම්මොත් තමයි ඒක අභියෝගයක් වෙන්නේ”, ඔහු පැවසුවා.

ඇඩම් ගිල්ක්‍රිස්ට් IPL ආරම්භයේ දී එහි ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. මේ වන විට එහි නොමැති ඩෙකැන් චාජර්ස් කණ්ඩායමත්, පසුව කිංග්ස් 11 පන්ජාබ් කණ්ඩායමත් ඔහු නියෝජනය කළා. 2009 දී IPL ශූරයන් වූ ඩෙකැන් චාජර්ස් කණ්ඩායම මෙහෙයවූයේ ඔහුයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<