ආසියානු කුසලානය ආයෙත් කල්යයි

372

එළඹෙන ජුනි මාසයේ දී මෙරට පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය දින නියමයකින් තොරව කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

අද (19) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඈශ්ලි ද සිල්වා මහතා මේ බව තහවුරු කර සිටියා.

මේ වන විට මෙරට පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ තරගාවලිය පැවැත්වීම එතරම් සුදුසු නොවන නිසාත්, තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන්ගේ සහ සෙසු නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව තවමත් නිසි සහතිකයක් ලබා දීම අසීරු වන නිසාත් තරගාවලිය කල්දැමීමට තීරණය කර තිබෙනවා. 

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඈශ්ලි ද සිල්වා මහතා 

” අපි තරගාවලිය පවත්වන්න සැලසුම් කරලා තිබුණේ ජූනි මාසයේදී. ඒත් දැන් තියන තත්ත්වය එක්ක රටවල් ගොඩක් සංචාර සඳහා අවසර දෙන්නේ නැහැ. 

ඒ වගේම රටවල් හැම එකක්ම ගොඩක් කාර්‍යබහුල කාලසටහන් වල ඉන්නේ. ඒ නිසා මේ කාලසටහන් එක්ක හැම කණ්ඩායමකටම සහභාගී වෙන්න පුළුවන් කාලයක් සොයාගන්න එක අමාරුයි.

ඒත් ලෝක කුසලාන තරගාවලියට කළින් ආසියානු කුසලාන තරගාවලිය පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.

තරගාවලිය පවත්වන දින ස්ථීර වූ වහාම ආසියානු ක්‍රිකට් කවුන්සලය ඒ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරාවි.”

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

කෙසේ වෙතත් ආසියානු කුසලාන තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ කරන බවත් එම මාධ්‍ය හමුවේ දී ඈශ්ලි ද සිල්වා මහතා පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<