ක්‍රිකට් කොන්ත්‍රාත්තුව එළියට; අත්සන් කරන්නත් අවසන් දිනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව

191

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නව වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අද (19) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා. ඒ අනුව ඉදිරි වසරක කාලය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් 24 දෙනෙකුට මේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව හිමිවනවා.

එසේම එම ක්‍රීඩකයින් 24 දෙනා සඳහා ඔවුන්ගේ ගිවිසුම්ගත කොන්ත්‍රාත්තු අත්සන් කිරීම සඳහා 2021 ජුනි 3 වැනිදා දක්වා කාලය ලබා දී තිබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවා.

“මේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අත්සන් කරනවා ද, නැද්ද කියලා අපිට අපේ ක්‍රීඩකයින් තවම මුකුත් කියලා නැහැ. හැබැයි දැනට අපි බංග්ලාදේශ තරග සංචාරයට ක්‍රීඩකයින්ව යැවුවේ ඒ තරගාවලියට පමණක් ගිවිසුම් ගත වුනු වෙනම ගිවිසුමක් එක්කයි. හැබැයි මේ ඉදිරි වසර සඳහා වන නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව ජුනි 3 වැනිදාට කලින් ඒ ක්‍රීඩකයින් අත්සන් කරන්න ඕනේ” යැයි අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේ දී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ මේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට අනුව ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීම් සහ ගෙවීම්වල විශාල වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා. ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීමේ දී 2019 ජනවාරි 1 වැනිදා සිට 2021 වසරේ ජනවාරි 31 දක්වා වසර දෙකක කාලයක් තුල ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරග රටාවන් තුල දැක්වූ දස්කම් මූලිකවම සලකා බලා තිබෙනවා. 

ඒ සඳහා පසුගිය වසර පමණක් නොසලකා අවසන් වසර දෙකක කාලය සලකා තිබෙන්නේ   පසුගිය වසරේ තිබුණු තරග ප්‍රමාණය අවම වීම (COVID නිසා) නිසයි. දස්කම්වලට අමතරව ඔවුන්ගේ විනය, නායකත්වය, සහ ශාරීරික යෝග්‍යතා මට්ටම් ද මේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට අනුව ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීමේ දී සලකා බලා තිබෙනවා.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුගත මුදල් ප්‍රමාණ පසුගිය වර්ෂවලට සාපේක්ෂව විශාල ලෙස කප්පාදු කර තිබෙනවා.

නව කොන්ත්‍රාත් ක්‍රමයට අනුව කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා වැඩිම කොන්ත්‍රාත්තුගත මුදලකට හිමිකම් කියනු ලබන අතර A කාණ්ඩයේ පළමු කොටසේ සිටින ඔවුන් දෙදෙනා හට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ($100,000) මුදලක් ගෙවීමට නියමිතයි.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කොන්ත්‍රාත්ගත මුදලක් සඳහා හිමිකම් කියූ ඇන්ජලෝ මැතිව්ස් හට පසුගිය වසරේ දී $130,000ක මුදලක් ලැබුණු නමුත්, මෙවර මැතිව්ස් සහ නව එක්දින නායක කුසල් පෙරේරා A කාණ්ඩයේ දෙවැනි කොටසට කාණ්ඩගත කරමින් $80,000ක මුදලක් ගෙවීමට නියමිතයි.

එසේම ශ්‍රී ලංකා ටෙස්ට් නායක සහ හිටපු එක්දින නායක දිමුත් කරුණාරත්න හට පසුගිය කොන්ත්‍රාත්තුගත ගෙවීමේ දී $100,000ක මුදලක් ලැබුණු නමුත් එය මෙවර $70,000ක් දක්වා අඩුවී තිබෙනවා.

තවද අංශ තුනම ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුලතම වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් හට පසුගිය කොන්ත්‍රාත්ගත කිරීමේ දී හිමිවුණු $100,000ක මුදල් ප්‍රමාණය මෙවර $65,000 දක්වා කප්පාදු වීමට නියමිතයි. ශ්‍රී ලංකා හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් C කාණ්ඩයේ දෙවැනි පෙළට කාණ්ඩගත කරමින් $45,000ක මුදලක් ගෙවනු ඇත.

යොවුන් මුල්පෙළ පිතිකරු පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, සහ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් යන නවක ක්‍රීඩකයින් හට පළමු වරට ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලැබීමට නියමිතයි.

කෙසේ නමුත් අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දිල්රුවන් පෙරේරා, අශාන් ප්‍රියන්ජන්, සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, මිනෝද් භානුක, ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයින් හට මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලැබී නැහැ.

සිය වාර්ෂික කොන්ත්‍රාත්ගත මුදල් ප්‍රමාණ කප්පාදු කිරීම නිසාවෙන් ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු ප්‍රතික්ෂේප කිරීමට සූදානමින් සිටින බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ නව ක්‍රිකට් ක්‍රීඩක වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයින්, ඔවුන්ගේ කාණ්ඩයන් සහ ඔවුන්ට ගෙවනු ලබන මුදල් පහත දැක්වෙනවා.


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<