Peleගේ වාර්තාව Mbappe බිඳ දමයි

FIFA World Cup 2022

1176
Kylian Mbappé

පෝලන්තයට එරෙහිව ගෝල 3-1ක ජයග්‍රහණයකින් ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ තරගයේ දී ප්‍රංශ ඉදිරි පෙළ ක්‍රීඩක Kylian Mbappe ගෝල ලබා ගත්තේ Peleගේ වාර්තාවක් මකා දමමින් වීම විශේෂත්වයක්.

අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ප්‍රංශයට වෙහෙසකාරී ක්‍රීඩාවක නියැලීමට සිදු වූ අතර තරගාවලියේ පෙර තරගවලට වඩා වැඩි දියුණුවක් ලබා සිටි පෝලන්ත කණ්ඩායම අභිබවා යාමට ඔවුන්ට හැකි වූයේ Oliver Giroud සහ Kylian Mbappe ලබා ගත් ගෝලවලට ස්තුතිවන්ත වන්නටයි.

දෙපිලෙන් ම කිසිම ගෝලයක් වාර්තා නොවී ඇණ හිට තිබූ තරගය ප්‍රාණවත් වූයේ ක්‍රීඩාවේ පළමු භාගය අවසන් වීමට මොහොතකට පෙර Giroud ලබා ගත් ගෝලයෙන්. ඒ සමඟම ඔහු ප්‍රංශය වෙනුවෙන් 52 වැනි ගෝලය සටහන් කළේ Thierry Henryගේ කලින් වාර්තාව අභිබවා යමින්.

තමා ලෝකයේ සිටින හොඳම ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන්නේ ඇයි ද කියා Mbappe මේ තරගයේ දී ගෝල ද්විත්වයක් ලබා ගනිමින් කදිමට ප්‍රදර්ශනය කළේ පෝලන්ත හදවත් බිඳ දමමින්.

ඔහුගේ අලංකාර දෙවැනි ගෝලය එනම් මේ තරගයේ ප්‍රංශයේ තෙවැනි ගෝලය කටාර් 2022 ලෝක කුසලාන තරගාවලියේ Mbappeගේ පස්වැනි ගෝලය වූ අතර සමස්ත ලෝක කුසලාන තරගාවලිවල ඔහුගේ 9 වැනි ගෝලය ද වුනා.

මේ අනුව මේ තරගයේ දී Mbappe බිඳ දැමුවේ වයස අවුරුදු 24ක් වීමට පෙර Pele ලබා ගත් ලෝක කුසලාන ගෝල හතක වාර්තාවයි.

ටියුනීසියාව හමුවේ පරාජය වූ ප්‍රංශ කණ්ඩායමට වෙනස්කම් හතක් සිදු කිරීමෙන් පසුව කළමනාකරු Didier Deschamps මේ ලෝක කුසලාන තරගාවලියේ ප්‍රංශයේ දෙවැනි තරගයේ දී ඩෙන්මාර්කය පරාජය කළ කණ්ඩායම ම මේ තරගය සඳහා නැවත නම් කර තිබුණා.

පිට පිට ලෝක පාපන්දු කුසලානය දිනා ගත් ඉතිහාසයේ තෙවැනි කණ්ඩායම බවට පත්වීමට උත්සාහ කරමින් සිටින ප්‍රංශය ඔවුන්ගේ ආරම්භක තරග දෙකෙන් පසුව මෙවර තරගාවලියේ සිටින බියකරු ම කණ්ඩායමක් ලෙසින් දිස්වෙනවා.

මේ වසර මුලදී UEFA Nations League තරගාවලියේ සිය තරග හයෙන් එකක් පමණක් ජය ගත් මේ ප්‍රංශ කණ්ඩායම ඒ තරගාවලිය අවසන් කළේ ක්‍රොඒෂියාව සහ ඩෙන්මාර්කයට පිටුපසින්. නමුත් ඔවුන් දැන් මීට සිව් වසරකට ඉහත රුසියාවේ දී ලෝක කුසලානය දිනා ගත් ක්‍රීඩා රිද්මයට නැවත අවතීර්ණ ව සිටිනවා.

කණ්ඩායමේ වර්ධනය වඩාත් සිත් බඳනාසුළු වන්නේ ඔවුන් මේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන්නේ ප්‍රධාන ක්‍රීඩකයන් ගණනාවක් නොමැතිව නිසා.

සිව් වසරකට පෙර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය ආරම්භ කළ මැදපෙළ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Paul Pogba සහ N’Golo Kante යන දෙදෙනා ම කලින් ම අහිමිව සිටින ප්‍රංශය තවත් සසල වූයේ ආරක්ෂක ක්‍රීඩක Presnel Kimpembe, ඉදිරි පෙළ ක්‍රීඩක Christopher Nkunku සහ Ballon d’Or සම්මාන ලාභී Karim Benzema ද ආබාධ හේතුවෙන් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි බවට අසන්නට ලැබුණු ප්‍රවෘත්තියෙන්.

ඉක්බිති පැමිණියේ ආරක්ෂක ක්‍රීඩක Lucas Hernandez ආරම්භක තරගයේ දී දණහිස ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහු ද ලෝක කුසලාන තරගාවලියේ අනෙක් තරගවලට සහභාගි නොවන බවට වූ ප්‍රවෘත්තිය.

එහෙත් Mbappe තරග බිමේ සිටින විට කණ්ඩායමට සෑමවිටම ජයග්‍රහණයේ අවස්ථාවක් තිබෙනවා. ගෝලයක් ලබා ගැනීමේ උකුසු ඇසක් තිබෙන බවට ප්‍රසිද්ධ 23 හැවිරිදි මේ ක්‍රීඩකයා ප්‍රංශ කණ්ඩායමට ගෙන දෙන්නේ අති ප්‍රබල ශක්තියක්.

ගෝල ලබා ගැනීමට තිබෙන නිර්භීතකම පිළිබඳව සහ තරගාවලියේ වැඩි ම ගෝල ලබා ගන්නා ක්‍රීඩකයාට පිරිනැමෙන Golden Boot සම්මානය කටාර් දේශයේ දී තමාට තිබෙන එක ඉලක්කයක් ද කියා තරගයෙන් පසුව Mbappeගෙන් අසා තිබුණා.

“මට තිබෙන එක ම අරමුණ ලෝක කුසලානය දිනා ගැනීම. දැන් තිබෙන වැදගත් ම දෙය ඊළඟ තරගය එනම් අර්ධ අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කිරීම” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා. “මම සිහින දකින්නේ ඒ ගැනයි. මම දකින එක ම සිහිනය එය යි. මම මෙහෙට ආවේ ඒ නිසායි. මම ආවේ ලෝක කුසලානය දිනන්නයි.”

“Golden Ball හෝ Golden Boot දිනා ගන්න මම මෙහාට ආවෙ නැහැ. මම ඒක දිනුවොත්, පැහැදිලිවම, මට ලොකු සතුටක් දැනේවි. නමුත් මම මෙහි ඇවිත් ඉන්නේ ඒ නිසා නෙවෙයි. මම ඇවිල්ලා ඉන්නේ දිනන්න සහ ප්‍රංශ ජාතික කණ්ඩායමට උදව් කරන්න.”

පෝලන්තයට එරෙහිව ප්‍රදර්ශනය කළ ක්‍රීඩාවෙන් පසුව, මේ තරගාවලියේ දී ප්‍රංශයට එරෙහිව තරග වැදීමට මනාපයක් දක්වන කණ්ඩායම් සිටිනවා නම් ඒ ඉතාම සුළු පිරිසක්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<