Al-Jazeera තරග පාවාදීමේ හෙළිදරව්වෙන් ශ්‍රී ලාංකිකයන් හතරදෙනෙකු නිදහස්!

149

2016 සහ 2017 යන වර්ෂයන් හී ඉන්දියාව සමඟ එරට දී පැවති ටෙස්ට් තරග දෙකක් අතරතුර දී ස්ථානීය තරග පාවාදීමේ සිදුවීම් මාලාවක් සිදුව ඇති බව Al-Jazeera නාලිකාව මඟින් 2018 වසරේ දී විකාශය කළ වාර්තාමය වැඩසටහනක් තුලින් හෙළිදරව් විය. 

එහිදී එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට මෙන්ම ශ්‍රී ලාංකීය පුහුණුකරුවරුන් සහ නිලධාරීන් කිහිප දෙනෙකුට ද චෝදනා එල්ල වී තිබුණේ තරග පවාදීමේ සිදුවීම් සඳහා සෘජුවම මැදිහත් වූ අයවලුන් ලෙසිනි.

කෙසේ නමුත් වසර තුනකට ආසන්න කාලයක් මේ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයන්ගෙන් අනතුරුව චෝදනා එල්ල වූ පාර්ශවයන් වරදකරුවන් ලෙස සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට මේ වන විට ICC තීරණයකට එළඹ තිබෙන්නේ මේ සම්බන්ධයෙන් ඊයේ (17) දිනයේ දී විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමිනි.

2018 වර්ෂයේ දී ‘Cricket’s Match Fixers’ යන තේමාව යටතේ Al-Jazeera රූපවාහිනි නාලිකාව විකාශය කළ කොටස් දෙකකින් සමන්විත වාර්තාමය වැඩසටහනෙහි පළමු කොටස පදනම්ව තිබුණේ එංගලන්තය සහ ඉන්දියාව අතර 2016 වසරේ දී Chennai හී පැවති ටෙස්ට් තරගයක් සහ 2017 වර්ෂයේ දී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර Ranchi හී ක්‍රියාත්මක වූ ටෙස්ට් තරගයක් අතරතුර දී සිදු වූ යැයි සැක කරන තරග පාවාදීමේ සිදුවීම් මාලවක් සම්බන්ධයෙනි.

2011-12 කාලසීමාව තුල දී ජාත්‍යන්තර තරග 15ක දී සිදු වූවා යැයි කියැවෙන ස්ථානීය තරග පාවාදීමේ සිදුවීම් කිහිපයක් පාදක කරගනිමින් මෙම වැඩසටහනෙහි දෙවන කොටස විකාශය කිරීමට Al-Jazeera නාලිකාව කටයුතු කොට තිබූ අතර එහි දී මෙම සිදුවීම් හා සම්බන්ධ යැයි අනුමාන කෙරෙන එංගලන්ත ජාතිකයින් හත්දෙනෙකුටත්, ඕස්ට්‍රේලියානු ජාතිකයින් පස්දෙනෙකුටත්, පාකිස්තාන ජාතිකයන් තිදෙනෙකුටත් එරෙහිව චෝදනා ගොනු කිරීමට Al-Jazeera ආයතනය පියවර ගෙන තිබුණි.

මෙම වැඩසටහනෙහි අන්තර්ගත වූ සියලුම වීඩියෝ පටයන්ගේ සංස්කරණය නොකළ රූපරාමු ICCය තම පරීක්ෂණ කටයුතු සඳහා යොදාගෙන තිබූ අතර මෙම තරග පාවාදීමේ සිදුවීම් මාලාවේ පිටුපස සිටින මහා මොළකරු ලෙස හැඳින්වෙන Aneel Munwar නැමති තැනැත්තා ඇතැම් ක්‍රීඩකයින් හට තරග තුල දී ලකුණු රැස්කළ යුතු ආකාරය පිළිබඳ පවා උපදෙස් ලබා දී තිබුණේ බුකීකරුවන් සමඟ එක්ව මුදල් උපැයීමේ කූට අරමුණු සාක්ෂාත් කරගැනීමේ අදිටනින් බව එම වැඩසටහන තුල පැහැදිලිව සඳහන්ව තිබේ.

තවත් ක්‍රිකට් පුවත්:

මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයන්ගේ ප්‍රතිඵල විමසා බැලීමේ දී ඉන්දු-එංගලන්ත සහ ඉන්දු-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරග අතරතුර දී අදාළ බුකීකරුවන්ගේ ඕනෑ එපාකම් ඉටු කරමින් කටයුතු කළා යැයි චෝදනා එල්ල වන ක්‍රීඩකයින්ගේ ක්‍රියාකලාපයන් අධ්‍යයනය කිරීමේ දී එවැනි යටි අරමුණක් සහිතව ඔවුන් ක්‍රීඩා කරනවා යැයි පැවසීමට තරම් ප්‍රමාණවත් සාක්ෂියක් නොමැති බව ප්‍රකාශයක් නිකුත් කරමින් ICCය අවධාරණය කොට තිබුණි.

Al-Jazeera ආයතනය විසින් ක්‍රිකට් ලෝකයම උඩුයටිකුරු කරමින් එල්ල කළ මෙම දැවැන්ත හෙළිදරව්වේ ඇතැම් මූලික කරුණු සහ සිද්ධාන්තයන්ගේ අඩුපාඩුකම් රැසක් පවතින බවත්, එම වැඩසටහනේ පවසන පරිදි අදාළ ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තරම් ප්‍රමාණවත් මට්ටමේ සාක්ෂි ඔවුන් සතු නොවූ බවත් ICC දූෂණ මර්දන ඒකකයේ සභාපති Alex Marshall වැඩිදුරටත් සඳහන්කොට තිබේ.

මෙහි දී වඩාත් කැපී පෙනෙන කාරණය බවට පත් වූයේ මෙම චෝදනාවන් එල්ල වූ පුද්ගලයින් අතර මෙරට ක්‍රිකට් පිටියේ නම් දැරූ පුද්ගලයින් කිහිපදෙනෙකුගේම ක්‍රියාකලාපයන් පිළිබඳව ද එම වැඩසටහන තුල දී හෙළිදරව් වීමයි. 

හිටපු තුන් ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ, ජීවන්ත කුලතුංග, තරිඳු මෙන්ඩිස් (මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුයුක්තව සේවය කළ පළාත් මට්ටමේ පුහුණුකරුවන්) සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ සහකාර කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික තරංග යන මහත්වරුන්ගේ අනුදැනුම සහ බලපෑම් මත සිදු වූ පවාදීමේ සිදුවීම් කිහිපයක් වන බව අවස්ථා කිහිපයක දී ම එම වැඩසටහන තුල කියැවිණි.

“අපි ඕනෑම කෙනෙක්ට ආරාධනා කරනවා ක්‍රිකට් ක්‍රීඩාව තුල මෙවැනි සිදුවීම් පිළිබඳව දැනුවත් නම් අපිට වාර්තා කරන්න පැකිළෙන්න එපා කියලා. නමුත් මේ චෝදනා එල්ල වෙන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න නම් ප්‍රමාණවත් සාක්ෂි අවශ්‍යයි. මේ වැඩසටහනේ ලොකුම ගැටලුව වුනේ එහි අන්තර්ගතයේ තිබුණ ඇතැම් මූලික කරුණු විශ්වාසනීයත්වයෙන් තොරවීමයි. අපි මේ ගැන ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයින් හතර දෙනෙක් එක්ක එකතු වෙලා දැවැන්ත මෙහෙයුම් දියත් කළා.”

“වැඩසටහනට අනුව එහි නම් සඳහන් වෙන පුද්ගලයින්ගේ ඇතැම් ක්‍රියාකාරකම් සැක සහිත වුනත් අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ ඔවුන් අතර සිද්ධ වෙච්ච හැම සංවාදයකටම සවන් දෙන්නත්, ඔවුන් එම කාලසීමාව තුල සිදු කරපු හැම ක්‍රියාකාරකමක්ම නිරීක්ෂණය කරන්නත්. ඉතින් ICC නීති රීතීන්ට ප්‍රකාරව ඔවුන්ට දඬුවම් කිරීමට තරම් අපි ගාව ප්‍රමාණවත් සාක්ෂි නැහැ” යනුවෙන් Alex Marshall මහතා සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කොට තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<