කිසිම ක්‍රීඩකයෙකුට සමාව දෙන්න අපි සූදානම් නැහැ – මිකී ආතර්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2021

213

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය එළඹෙන 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය තුල කැපී පෙනෙන වෙනස්කම් කීපයක් දක්නට ලැබුණු අතර ඒ පිළිබඳව ප්‍රධාන පුහුණුකරු Mickey Arthur පසුගිය දා ThePapare.com සමඟින් අදහස් දක්වා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා බංග්ලාදේශය වෙත ළඟා වූ අතර ඔවුන් සිය මූලික පුහුණුවීම් සඳහා සහභාගී වුනා.

“අපිට හැකියාවක් ලැබුණා මේ කුණාටු තත්ත්වය මඟහැරගෙන අපේ පුහුණුවීම් ආරම්භ කරන්න. පුහුණු සැසි සියල්ලම ඉතාමත් හොඳින් සිදු වුනා. අලුත් නායකයෙක් සහ අලුත් කණ්ඩායමක් ඉන්නේ. ඒ නිසා මේ පුහුණු සැසි ඉතාමත් වැදගත් විදිහට මම දකිනවා.”

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා සහභාගී වන්නේ නව නායකයෙකු සහ උපනායකයෙකු යටතේයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම පිළිබඳව ද Mickey Arthur අදහස් දක්වා සිටියා.

“තේරීම් කමිටුව සහ මම මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අපිට ඕනේ වුනේ ස්ථාවර කණ්ඩායමක් හදාගන්න. අපි 2023 ඉලක්ක කරලා තමයි සැලසුම් සකස් කරන්නේ. මේ නිසා තමයි අපි තරුණ ක්‍රීඩකයන් රැසක් එක්ක කණ්ඩායම හදා ගත්තේ. මෙතන ගොඩක් ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අළුත් ක්‍රීඩකයන්. ඒ වගේම මෙතන ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කීපදෙනෙකුත් ඉන්නවා. අපිට ඕනේ ස්ථාවර කණ්ඩායමක් එක්ක ඉස්සරහට යන්න.” 

Mickey Arthur ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස වසර එක හමාරක කාලයක් කටයුතු කර තිබෙනවා. එහි දී ඔහු කණ්ඩායම තුළින් දුටු දියුණුව පිළිබඳව විශේෂයෙන් අදහස් දක්වා සිටියා.

“මම දැන් අවුරුදු එක හමාරක් කටයුතු කළා. ඒ කාලයේ මාස 9ක්ම අපි කිසිදු තරගයක් ක්‍රීඩා කළේ නැහැ. දීර්ඝ විරාමයකින් පස්සේ අපි ඉස්සෙල්ලම ක්‍රීඩා කළේ දකුණු අප්‍රිකානු තරගාවලිය. ඒකෙ දී මට හිතුණා මම මුල ඉඳන්ම පටන්ගත්තා කියලා. ඒත් කොදෙව් සංචාරයේ දී මම දැක්කා කණ්ඩායමේ හොඳ දියුණුවක් තියනවා. විශේෂයෙන් ටෙස්ට් කණ්ඩායම ලොකු දියුණුවක් ලබාගත්තා. අපිට ඕනේ වුනේ අපේ කණ්ඩායම පරාජය කරන්න අමාරු කණ්ඩායමක් බවට පත්කරන්න. මම හිතනවා අපි ඒක කළා කියලා. ඊට පස්සේ අපිට ජයග්‍රාහී කණ්ඩායමක් වෙන්න පුළුවන්. ඒ පැත්තෙන් දිමුත් කරුණාරත්න ඉතාමත් හොඳින් කණ්ඩායම මෙහෙයවනවා.”

“අපි හිතුවා අපේ එක්දින කණ්ඩායමට නැවුම් ආරම්භයක් ලබා දෙන්න ඕනේ කියලා. අපිට ඕනේ වුනේ මේ කණ්ඩායම අලුත් නායකත්වයක් යටතේ කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා බලන්න. විශේෂයෙන් 2023 ඉලක්ක කරලා තමයි මේ තීරණ ගත්තේ. කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් දැන් දීර්ඝ කාලයක් ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් ඉවත් වෙලා හිටියේ. ඔවුන් කොදෙව් සංචාරය සහ බංග්ලාදේශ තරගාවලිය ක්‍රීඩා කළේ නැහැ. ඉතින් ඔවුන් ඉතාමත් උනන්දුවෙන් සහ නැවුම් මානසිකත්වයකින් ඉන්නවා. මම හිතනවා ඔවුන්ට පුළුවන් වේවි කණ්ඩායමට ඕනේ දායකත්වය ලබා දෙන්න.” 

තවත් ක්‍රිකට් පුවත්:

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් විවේක ගන්වා තිබීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා. දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් ඉන් ප්‍රධානයි. කෙසේ වෙතත් ඔවුන් ඉදිරි තරගාවලි සඳහා සහභාගී වන බව Mickey Arthur පවසා සිටියා. 

“නැහැ. අපි කිසිසේත්ම ඔවුන්ව නොසලකා හරින්නේ නැහැ. ඔවුන් ඉදිරි තරග සඳහා ක්‍රීඩා කරාවි. අපිට ඕනේ වුනේ නවක ක්‍රීඩකයන්ගේ හැකියාවන් බලන්න. අපි බලාපොරොත්තු වෙන කණ්ඩායම සඳහා ඔවුන් දායකත්වය දක්වන්නේ කොහොමද කියලා බලන්න අපිට ඕනේ වුනා. මම විශේෂයෙන් කියන්න ඕනේ අපි කිසිදු ක්‍රීඩකයෙක්ට කණ්ඩායමේ දොර වහලා නැහැ. ඇන්ජලෝ, දිමුත් සහ චන්දිමාල් වගේ ක්‍රීඩකයන් තවමත් තරුණ ක්‍රීඩකයන්. ඔවුන්ට තවත් ටෙස්ට් තරග වගේම එක්දින තරගත් ක්‍රීඩා කරන්න පුළුවන්.”

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලසීමාව තුළ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබුණා. ඒ අනුව ක්‍රීඩකයන් කීපදෙනෙකුටම කණ්ඩායමේ ස්ථානය අහිමි වීමත් විශේෂත්වයක්. ඉන් ප්‍රධාන ස්ථානයක් අවිශ්ක ප්‍රනාන්දු හට හිමිවනවා.

“ඇත්තෙන්ම ඒක අපි බලාපොරොත්තු නොවුන දෙයක්. මම අවිශ්ක එක්ක මේ ගැන කතා කළා. වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයන් එක්ක කටයුතු කරද්දී අපි මූලිකත්වය දෙන්න ඕනේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට. ලකුණු ලබා ගැනීමේ හැකියාව සහ කඩුලු ලබා ගැනීමේ හැකියාව අපි බලන්න ඕනේ. අපි මේ බලන යෝග්‍යතා මිනුම් කිසිවක් අසාධාරණ ඒවා නෙමෙයි. ක්‍රීඩකයන් ඒවා පවත්වා ගත යුතු දේවල්. විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ. මම ක්‍රීඩකයන්ට විශේෂයෙන් කියන දෙයක් තමයි මේ මිනුම් වැඩිපුර ලකුණු ලබා ගන්න, කඩුලු ලබා ගන්න, උඩපන්දුවක් රැකගන්න උපකාරී වෙන්නේ නැති වේවි. නමුත් ක්‍රීඩකයෙක් විදිහට ස්ථාවරව ඒ දේවල් කරන්න මේ යෝග්‍යතාව ගොඩක් උපකාරී වේවි කියන එක.”

“මම විශ්වාස කරනවා තරගයක් දිනවන්න පුළුවන් දක්ෂතාවයක් දක්වන්න නම් ක්‍රීඩකයන්ට අනිවාර්යයෙන් මේ යෝග්‍යතාව තියෙන්න ඕනේ කියලා. අපි මේ දේවල් නැවත නැවත ක්‍රීඩකයන්ට කියලා තියනවා. අපි කිසිම ක්‍රීඩකයෙක්ට කිසිම සමාවක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ. අපිට ඕනේ ක්‍රීඩකයන්ව දියුණු කරලා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන ලෙස සකස් කරන්න. ඒකට මේ ප්‍රමිතීන් තියෙන්න ඕනේ.”

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගාවලිය සඳහා එක්දින තරග 3ක් ඇතුළත් වනවා.

  • පළමු තරගය – මැයි මස 23 වැනිදා ඩකා හිදී
  • දෙවන තරගය – මැයි මස 25 වැනිදා ඩකා හිදී
  • තුන්වැනි තරගය – මැයි මස 28 වැනිදා ඩකා හිදී

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගාවලියේ සියලු තොරතුරු එසැණින් දැනගන්න ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<