සභාපති කුසලානයේ සුපිරි 4 කුසපත් ඇදීම අවසන්

Vantage FFSL President's Cup 2020

194
Vantage FFSL President Cup Semi Final Team captains

Vantage FFSL President Cup 2020 තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් සඳහා හිමිවන ප්‍රතිවාදීන් තෝරාගනිමින් එම වටයේ තරග සකස් කිරීම සඳහා වූ කුසපත් ඇදීම අද (26) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දී පැවැත්විය.

පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ඩී සිල්වා මහතා එම වැඩසටහනේ වැඩ කටයුතු ඇරඹූ අතර එහි දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම මස 31 වැනිදා පැවැත්වීමට තිබූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය ලබන මස (සැප්තැම්බර්) 02 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කළ බවයි.

ඒ අනුව 31 වැනිදා පැවැත්වීමට තිබූ තරගය සැප්තැම්බර් මස 02 වැනිදා සවස 6.30ට සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නව ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතව ඇති බව අනුර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පෙර වටයේ තරග ප්‍රතිඵලවලට අනුව Java Lane SC, Red Stars FC, Colombo FC සහ New Star SC යන කණ්ඩායම් අවසන් 4 සඳහා තේරී පත්වී සිටියත්, ව්‍යාජ ලේඛන සකස් කර ක්‍රීඩකයෙකුගේ වයස වෙනස් කරමින් ක්‍රීඩා කිරීමේ චෝදනාව මත New Star කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කිරීමට පාපන්දු සංගමය තීරණය කළ නිසාවෙන් එම අවස්ථාව Blue Eagles SC කණ්ඩායමට හිමි විය.

තවත් පාපන්දු පුවත්:

අවසන් පූර්ව වටය සඳහා සිදු කළ කුසපත් ඇදීමේ දී මුල්ම කුසපත Java Lane කණ්ඩායමට හිමි වූ අතර අවසන් පූර්ව වටයේ දී ඔවුන්ට හිමිවන ප්‍රතිවාදීන් තේරීමේ දෙවන කුසපත් Blue Eagles කණ්ඩායමට හිමි වූ නිසාවෙන් මුල්ම අවසන් පූර්ව තරග වදින කණ්ඩායම් ලෙස Java Lane සහ Blue Eagles කණ්ඩායම් තේරී පත්විය.

ඉන් පසුව දෙවන අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සිදු කළ කුසපත් ඇදීමේ දී මුල්ම කුසපත Colombo FC කණ්ඩායමට හිමි වූ අතර දෙවන කුසපත ඉතිරි වූ කණ්ඩායම වන Red Stars කණ්ඩායමට හිමි වීම නිසාවෙන් දෙවන අවසන් පූර්ව තරගය තරග වදින කණ්ඩායම් ලෙස Red Stars සහ Colombo FC කණ්ඩායම් තේරීපත්විය.

මෙම තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබන්නේ කවුරුන් දැයි තේරීම සඳහා වූ අවසන් පූර්ව වටයේ තරග හෙට (27) පැවැත්වීමට නියමිත අතර මුල්ම තරගය සවස 4.30ට සහ දෙවන තරගය සවස 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<