බංග්ලාදේශ නායකත්වය වෙනස් වෙයි

3110
Litton Das

ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා නම් කළ බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය කඩුලු රකින ක්‍රීඩක Litton Das හට ලබා දීමට එරට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

මෙම තරගය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම් කර තිබෙන අතර එම සංචිතය සඳහා නවක ක්‍රීඩකයින් වන Shahadat Hossain සහ Mushfik Hasan කැඳවා තිබීම විශේෂත්වයක්.

බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක Shakib al Hasan අයර්ලන්ත තරගාවලිය අතරතුර ආබාධයට ලක් වීම නිසා Litton Das නායකත්වයට පත් කර තිබෙන අතර ඒ අනුව බංග්ලාදේශ ටෙස්ට් නායකත්වය දරන 15 වැනි ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

“මම හිතන්නේ Litton Das බංග්ලාදේශ ටෙස්ට් සංචිතය මෙහෙය වන්න අවශ්‍ය සුදුසුකම් සපුරලා තියෙනවා වගේම මේක ඔහුට විශාල ගෞරවයක් වෙයි. මේක ඔහුව ටෙස්ට් නායකයෙකු විදිහට දකින්න හොඳ අවස්ථාවක් වගේම ඔහු කණ්ඩායම හොඳින් මෙහෙයවයි කියලා බලාපොරොත්තු වෙනවා,” යැයි බංග්ලාදේශ තේරීම් කමිටු නිලධාරි Minhajul Abedin ප්‍රකාශ කළා.

එමෙන්ම කණ්ඩායමට එක් කළ නවක ක්‍රීඩකයින් ගැන අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, එම ක්‍රීඩකයින් යුගලය බොහෝ කලක සිටම ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිටි බවයි.

2021 වසරේ පළමු පෙළ පිටියට අවතීර්ණ වූ 21 හැවිරිදි Shahadat Hossain තරග 20ක් තුළ ශතක දෙකක් සහ අර්ධ ශතක 10ක් සමඟ ලකුණු 1265ක් රැස් කිරීමට සමත් ව තිබෙනවා.

2022 වසරේ පළමු පෙළ තරග පිටියට පිවිසි 20 හැවිරිදි Mushfik Hasan තරග 13ක් ක්‍රීඩා කරමින් කඩුලු 49ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

එමෙන්ම මෙම ක්‍රීඩකයින් දෙදෙනා බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම සමඟ පැවති තරගාවලිය සඳහා බංග්ලාදේශ A කණ්ඩායම නියෝජනය කරමින් ඉහළ දස්කම් දැක්වීමට ද සමත් වුනා.

“මෙම ක්‍රීඩකයින් දෙදෙනා වයස අවුරුදු 19න් පහළ සිට අපි එක්ක හිටියා. ඒ වගේම ඔවුන් සෑම විටම අපේ අධීක්ෂණය යටතේ සිටියේ. ඒ වගේම අපිට ගොඩක් විශ්වාසයි ඔවුන්ට අවස්ථාවක් ලැබුනොත් හොඳින් ඒක ලබා ගනි කියලා,” Minhajul ප්‍රකාශ කළා.

මෙම සංචිතය සඳහා Shadman Islam සහ Rezaur Rahman ඇතුළත්ව නොමැති අතර Taskin Ahmed සහ Zakir Hasan කණ්ඩායම සඳහා කැඳවා තිබෙනවා.

ආබාධයකට ලක් වීම නිසා Taskin Ahmed හට බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර පැවති සියලු තරග අහිමි වූ අතර ඔහු මේ වන විට බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සුවය ලබමින් සිටිනවා.

එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මානසික පුහුණුකරුවෙකු කණ්ඩායමට නම් කර තිබෙන අතර ඔහු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හමුවීමට නියමිත බව වාර්තා වෙනවා.

ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයට නම් කළ බංග්ලාදේශ සංචිතය: Litton Kumer Das (Captain), Tamim Iqbal, Zakir Hasan, Najmul Hossain Shanto, Mominul Haque Showrab, Mushfiqur Rahim, Mehidy Hasan Miraz, Taijul Islam, Syed Khaled Ahmed, Ebadot Hossain Chowdhury, Taskin Ahmed, Shoriful Islam, Mahmudul Hasan Joy, Shahadat Hossain Dipu, Mushfik Hasan.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<