ඉදිරි අභියෝග 5ක් සඳහා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට පුහුණුවක්

196

23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ සංචිතයක් අද (09) සිට නේවාසික පුහුණු කඳවුරකට සහභාගී කර වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

ඒ ඉදිරියේ දී ඔවුන් සහභාගී වීමට නියමිත තරග සංචාර 4ක් සහ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඉලක්ක කරගනිමිනුයි. 

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් මෙම සංචිතය ජෛව ආරක්ෂිත වටපිටාවක් යටතේ පුහුණුවීම් කටයුතුවල නියැලෙනු ඇත. මේ සඳහා ක්‍රීඩිකාවන් තෝරාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසිනි.

මෙම පුහුණු කඳවුර ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වේ. එහි දී ඔවුන් කුසලතා සහ යෝග්‍යතා පුහුණු කටයුතු මෙන්ම තරග අධ්‍යනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ පුහුණුවීම්වල නිරත වන අතර ඊට අමතරව අන්තර් සංචිත පුහුණු තරග කිහිපයක් ද ක්‍රීඩා කරනු ඇත.

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න, රවින්ද්‍ර පුෂ්පකුමාර (වේගපන්දු), ලංකා ද සිල්වා (පන්දු රැකීමේ) සහ දිනුක හෙට්ටිආරච්චි (දඟපන්දු) යන පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ මෙම කඳවුර පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<