වාර්තා 24කින් හැඩවුනු සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවය

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවය 2022

366

පාසල් මලල ක්‍රීඩා පිටිය උණුසුම් කරමින් පැවති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවයේ පස්වැනි දිනයේ දී (06) නව වාර්තා පහක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

බාලිකා කාණ්ඩයෙන් ඊයේ (06) දිනයේ දී එක් වාර්තාවක් බිහි වෙද්දී, බාලක කාණ්ඩයේ වාර්තා හතරක් ද ඊයේ බිඳ වැටුණා.

වයස අවුරුදු 16න් පහළ බාලක කාණ්ඩයේ මීටර් 300 ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ එම්. ඒ. රිෆායි සමත් වුනා. ඒ එම තරග ඉසව්ව තත්. 38.65ක කාලයකින් නිමා කරමින්.

මේ අතර අඹගමුව මහා විද්‍යාලය නියෝජනය කළ කේ. එල්. ඒ. අකලංක මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්. 53.12කින් නිමා කරමින් එහි නව වාර්තාවක් පිහිටුවා තිබුණා. ඔහු 18න් පහළ කාණ්ඩය නියෝජනය කළා.

එම විද්‍යාලය නියෝජනය කළ කේ. එම්. ඩී. දර්ශන 20න් පහළ කාණ්ඩයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. ඒ මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්. 51.42කින් නිමා කරමින්.

දිනයේ වාර්තා වූ අවසන් බාලක වාර්තාවට හිමිකම් කීමට යාපනය හාර්ට්ලි විද්‍යාලයේ එස්. මිතුන් රාජ් සමත් වුනා. ඒ 20න් පහළ කවපෙත්ත වීසිකිරීමේ තරග ඉසව්වේ මීටර් 45.47ක් වාර්තා කරමින්.

මීට අමතරව බාලිකා තරග ඉසව් අතරින් නව වාර්තාවක් පිහිටුවීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සමත් වුනා. ඒ මීටර් 4*100 සහය දිවීමේ තරග ඉසව්ව තත්. 44.98කින් නිමා කරමින්.

ඊයේ දිනයේ තරගාවලිය අවසන් වූයේ බස්නාහිර පළාතට සමස්ත ශූරතාවය හිමිකර දෙමින්. ඔවුන් ප්‍රසාද ලකුණු 1096.5ක් ලබාගෙන තිබුණා. දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් මධ්‍යම පළාත සහ දකුණු පළාත විසින් හිමිකර ගත්තා.

මෙවර තරගාවලියේ දී සමස්ත වාර්තා 24ක් බිඳ වැටී තිබීම විශේෂත්වයක්.

තරගාවලියේ හොඳම මලල ක්‍රීඩිකාව ලෙස වළල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂි දිල්සරා කරුණාරත්න සම්මාන දිනුවා. ඇය මීටර් 400 ඉසව්වේ රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වුනා.

තරගාවලියේ හොඳම මලල ක්‍රීඩකයාට හිමි සම්මානය කොළඹ රාජකීය විද්‍යාලයේ නඳුන් බණ්ඩාර විසින් දිනා ගත්තා. මෙවර තරගාවලියේ මීටර් 110 කඩුලු ඉසව්වේ නව වාර්තාවක් පිහිටුවීමට ද ඔහු සමත් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<