තරගාවලි වාර්තා හතරක් සමඟින් තෙවැනි දිනය අවසන්

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවය 2022

491

පාසල් මලල ක්‍රීඩා පිටිය උණුසුම් කරමින් මේ දිනවල පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය වූ ඊයේ (06) දිනය අවසන් වුනේ නව තරගාවලි වාර්තා හයක් සමඟයි.

පාසල් මලල ක්‍රීඩා පිටියේ මේ දිනවල වැඩි අවධානයක් දිනා සිටින මලල ක්‍රීඩක ඉසුරු කෞෂල්‍ය වයස අවුරුදු 20න් පහළ මීටර් 200 ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වුනේ තත්පර 21.47ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

20න් පහළ බාලක මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්ව සඳහා සහභාගී වූ කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩක නඳුන් බණ්ඩාර ඉසව්ව 13.82ක කාලයකින් අවසන් කරමින් තරගාවලි වාර්තාව බිඳ හෙළන්නට සමත් වුනා.

බාලක කාණ්ඩයේ ඊයේ පිහිටවූ අනෙක් වාර්තාව 20න් පහළ යගුලිය දැමීම ඉසව්වේ මීටර් 15.43ක දුරක් වාර්තා කළ මාතර රාහුල විද්‍යාලයේ උවිඳු සුදාරකට හිමි වුනා.

බාලිකා කාණ්ඩයේ ඊයේ දිනයේ බිඳ වැටුණු එකම වාර්තාව වුනේ 20න් පහළ කාන්තා 400X4 තරගාවලි වාර්තාවයි. එම තරගයේ සුපුරුදු ආධිපත්‍ය රඳවා ගත් වලල ඒ රත්නායක විද්‍යාලයීය ක්‍රීඩිකාවන් තරගය මිනිත්තු 3:53.82ක කාලයකින් අවසන් කරන්නට සමත් වුනා.

සමස්ත තරගාවලියේ පළාත් කාණ්ඩයේ ප්‍රබල ආධිපත්‍යක් රඳවා ගනිමින් බස්නාහිර පළාත ප්‍රසාද ලකුණු 651ක් සමඟ පෙරමුණේ පසු වන අතර ලකුණු 231ක් ලබා ගත් වයඹ දෙවැනි ස්ථානයේ සහ ප්‍රසාද ලකුණු 216ක් සමඟ දකුණු පළාත තෙවැනි ස්ථානයෙත් රැඳී සිටිනවා.

පාසල් කාණ්ඩයේ බාලක අංශයේ ප්‍රසාද ලකුණු 49ක් ලබා ගනිමින් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ක්‍රීඩකයින් පෙරමුණේ පසුවෙද්දී, වත්තල ලයිසියම් ක්‍රීඩකයින් දෙවැනි තැන පසුවන්නේ ප්‍රසාද ලකුණු 39ක් සමඟයි.

කාන්තා කාණ්ඩයේ ආධිපත්‍ය සුපුරුදු පරිදි ප්‍රසාද ලකුණු 67ක් ලබා ගත් වලල ඒ රත්නායක ක්‍රීඩකයින් හට හිමි වෙද්දී, ප්‍රසාද ලකුණු 44ක් ලබා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩිකාවන් දෙවැනි තැන පසුවනවා.

>> තරගාවලියේ මෙතෙක් තරග ප්‍රතිඵල <<

තරගාවලියේ සිව්වැනි දිනය අදයි (05). තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<