Home Sinhala වර්ෂාව නිසා කණ්ඩායම් දෙකටම ලකුණු 5 බැගින් ලැබෙයි

වර්ෂාව නිසා කණ්ඩායම් දෙකටම ලකුණු 5 බැගින් ලැබෙයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

515

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (27) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ප්‍රතිඵලයක් රහිත තරගයක් ලෙස නිමාව දුටුවා.

ඒ පැවති අයහපත් කාලගුණ තත්වය නිසයි. ඒ අනුව තරග තුනකින් සමන්විත මේ තරගාවලියේ ඇෆ්ගනිස්තානය දැනට 1-0ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

මේ තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වීම නිසා කණ්ඩායම් දෙකටම 2020 – 2023 ICC එක්දින සුපර් ලීගයට අදාළ ප්‍රසාද ලකුණු 5 බැගින් හිමි වුනා. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 67ක් ලබාගෙන දැනට එහි 10 වැනි ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්තාන ප්‍රසාද ලකුණු 115ක් දිනාගෙන දැනට එහි 7 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

අද කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායක Hashmatullah Shahidi පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර කණ්ඩායම් දෙකම පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් සිදුනොකරමින් මේ තරගයට අවතීර්ණ වුනා. ශ්‍රී ලංකාව කාසියේ වාසිය පරාජයට පත් වුවත් ඉතාමත් හොඳ සටනක් දෙමින් ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 228කට සීමා කළා.

තරගයට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම,

ශ්‍රී ලංකාව – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, වනිඳු හසරංග, ධනංජය ලක්ෂාන්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර

ඇෆ්ගනිස්තානය – Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (C), Najibullah Zadran, Mohammad Nabi, Rashid Khan, Mujeeb Ur Rehman, Fazalhaq Farooqi, Riaz Hassan, Yamin Ahmadzai

ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනා හට මේ තරගයේ දී නම් එතරම්ම සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් පළමු තරගයට වඩා වෙනස් ආකාරයකින් කළමනාකරණය කරගනිමින් රාජිත, මහීෂ් සහ ලහිරු කුමාර පළමු Powerplay අවස්ථාව තුල පන්දු යැවීම සිදු කළා.

එහි දී පළමු තරගයේ වීරයා වෙමින් ශතකයක් ලබා ගත් Ibrahim Zadranගේ කඩුල්ල ලකුණු 10කට දවා ගනිමින් ධනාත්මක ආරම්භයක් ලබා දීමට කුමාර සමත් වුනා.

ඉන් අනතුරුව පිටියේ එක්වූ Shah සහ ආරම්භක කඩුලු රකින පිතිකරු Gurbaz එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 133ක් තුල ලකුණු 113ක ශතක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට යම් පීඩනයක් එල්ල කළා.

එම සබඳතාවය බිඳ දමමින් 4 පහර 4ක් සහ 6 පහර 4ක් සමඟ පන්දු 73ක දී ලකුණු 68ක් ලබා ගත් Gurbazගේ ඉනිම අවසන් වුනා. Gurbaz සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුල නොකඩවා ලබා ගත් දෙවැනි අර්ධ ශතකය මෙයයි.

එසේම අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ Shah පන්දු 78ක් තුල ලකුණු 58ක් ලබාගෙන මේ තරගාවලිය තුල ලබා ගත් දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ අතර එය ඔහුගේ 22 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි. තීක්ෂණ Shahගේ කඩුල්ල LBW ආකාරයෙන් දවා ගත්තා.

ඇෆ්ගනිස්තානය පන්දුවාර 27කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 135ක් ලබාගෙන සිටියා. ඉන් අනතුරව ඇෆ්ගනිස්තාන ඉනිමේ අවසානය දක්වා ලකුණු 30කට වැඩි එකඳු හෝ සබඳතාවයක් ගොඩනැංවීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

6 වැනි කඩුල්ල වෙනුවෙන් නායක Shahidi සහ Nabi පන්දු 33ක් තුල ගොඩනැංවූ ලකුණු 30 සබඳතාවය දෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව ඔවුන්ගේ ඉනිමේ වාර්තා වූ හොඳම සබඳතාවය වුනා.

ඇෆ්ගනිස්තාන  මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් ශ්‍රී ලංකා පීඩනය හමුවේ තරමක් පසුපසට යද්දී, Nabi සිය අත්දැකීම් සහ පරිණත බව උපයෝගී කරගනිමින් පන්දු 34ක් තුල ලකුණු 41ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහර 2කින් සහ 6 පහර 2කින් වර්ණවත් වුනා.

පළමු තරගයේ දී ඇෆ්ගනිස්තානු මුල්පෙළ පිතිකරුවන් අර්ධ ශතක සබඳතාවයක්, එක් ශතක සබඳතාවයක් සහ ලකුණු 30කට වැඩි සබඳතාවයන් දෙකක් ගොඩනංවමින් ඉතාමත් හොඳ ස්ථාවර ආරම්භයක් ලබා ගත් නමුත් මේ තරගයේ දී නායක ශානක ඉතාමත් උපක්‍රමශීලි ලෙස සිය පන්දු යවන්නන් කළමනාකරණය කරගනිමින් ක්‍රීඩා කළා.

පළමු තරගය ක්‍රීඩා කළ තණතීරුවත් මෙය වීම නිසා ඇෆ්ගනිස්තාන ඉනිමේ අවසන් පන්දුවාර 20 තුල ඉතාමත් හොඳ දඟකැවීමක් සහ දෝලනයක් ලබා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී රාජිත නිලකුණු පන්දුවාර 2ක් සමඟ ලකුණු 31කට කඩුලු 3ක් දවා ගනිමින් සිය හොඳම එක්දින ජාත්‍යන්තර පන්දු යැවීමේ දස්කම පෙන්නුම් කළා. ඊට අමතරව කුමාර සහ මහීෂ් කඩුලු 2ක බැගින් දවා ගත්තා.

ඉන් අනතුරුව ලකුණු 228ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 2කුත් පන්දු 4ක් අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 10ක් ලබාගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු අතර ඉන්පසුව තරගය නැවතත් ආරම්භ කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

දෙරට අතර පැවති පළමු තරගය ලකුණු 60කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවුණු නිසා 1-0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටින්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 30 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය සමව අවසන් කර ගැනීම සඳහා එම තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වෙනවා.

එපමණක් නොව ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ හොඳම කණ්ඩායම් 8 අතරට ගොස් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාව දැඩි අවදානම් මට්ටමක තිබෙන නිසා මෙතැන් පටන් ඉතිරිව තිබෙන එක්දින තරග 4ම ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වටිනවා.

Result


Sri Lanka
10/0 (2.4)

Afghanistan
228/10 (48.2)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Maheesh Theekshana b Dhananjaya de Silva 68 73 4 4 93.15
Ibrahim Zadran b Lahiru Kumara 10 18 2 0 55.56
Rahmat Shah lbw b Maheesh Theekshana 58 78 7 0 74.36
Hashmatullah Shahidi run out () 28 45 2 0 62.22
Najibullah Zadran lbw b Maheesh Theekshana 6 8 1 0 75.00
Gulbadin Naib b Wanidu Hasaranga 6 15 0 0 40.00
Mohammad Nabi c Dhananjaya de Silva b Kasun Rajitha 41 34 2 2 120.59
Rashid Khan c Kusal Mendis b Kasun Rajitha 3 8 0 0 37.50
Mujeeb ur Rahman c Dhananjaya de Silva b Kasun Rajitha 0 2 0 0 0.00
Fazal Haq Farooqi not out 2 7 0 0 28.57
Yamin Ahmadzai c Charith Asalanka b Lahiru Kumara 1 2 0 0 50.00


Extras 5 (b 1 , lb 0 , nb 0, w 4, pen 0)
Total 228/10 (48.2 Overs, RR: 4.72)
Bowling O M R W Econ
Kasun Rajitha 9 2 31 3 3.44
Maheesh Theekshana 10 1 49 2 4.90
Lahiru Kumara 6.2 0 50 2 8.06
Wanidu Hasaranga 10 0 39 1 3.90
Dhananjaya Lakshan 3 0 21 0 7.00
Dhananjaya de Silva 10 0 37 1 3.70


Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 3 8 0 0 37.50
Kusal Mendis not out 2 8 0 0 25.00


Extras 5 (b 0 , lb 0 , nb 0, w 5, pen 0)
Total 10/0 (2.4 Overs, RR: 3.75)
Bowling O M R W Econ
Fazal Haq Farooqi 1.4 0 8 0 5.71
Mujeeb ur Rahman 1 0 2 0 2.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<