“මම තාම ඒ වගේ තීරණයක් අරගෙන නැහැ” – යුපුන් අබේකෝන්

303

පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී යුපුන් අබේකෝන් සහ මාධ්‍යවේදීන් අතර සුහද හමුවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් අද (02) සංවිධානය කර තිබුණා.

කොළඹ CR & FC පරිශ්‍රයේ පැවති මෙම විශේෂ හමුව සඳහා යුපුන් අබේකෝන්ට අමතරව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා, හිටපු ක්‍රීඩිකා දමයන්ති දර්ශා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් යුපුන් අබේකෝන් හට නව ගිවිසුමක් සහ සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරුණා.

මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස අමතමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ,

“ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මෙම වසරට අදාළ අවසන් මාධ්‍ය සාකච්ඡාව තමයි මේක. අපි මේ අවුරුද්දේ විශාල ජයග්‍රහණ කිහිපයක්ම ලබා ගත්තා. යුපුන් අබේකෝන් වසර 24කට පස්සේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ලංකාවට දිනලා දුන්නා වගේම ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී පදක්කම් පහක් දිනා ගන්නත් අපේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.”

“ඒ වගේම ඉසව් කිහිපයකින් ජාතික වාර්තා නැවත පිහිටුවන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුටම හැකි වුනා.”

“2023 ගත්තොත් අපිට ඉතා වැදගත් අවුරුද්දක්. ආසියානු මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන සෑම ඉසව්වක්ම 2023 වසරේ පැවැත්වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සැලැස්මක් දැන්ම හදලා ඉවරයි. අපි තේරීම් තරග පවත්වලා දැනටම ක්‍රීඩා සංචිත හදලා තියෙන්නේ.”

පාලිත ප්‍රනාන්දු මහතාගෙන් පසුව යුපුන් අබේකෝන් හට මාධ්‍ය සාකච්ඡාවට ආරාධනා කළ අතර එහි දී ඔහු ප්‍රකාශ කළේ,

“මුලින්ම මට ඒ අවස්ථාව ලබා දුන්න එක ගැන මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. දකුණු ආසියානු ක්‍රීඩකයෙකුට හීනයක් වෙලා තිබ්බ තත්පර 10 සීමාව බිඳ දමන්න මට මේ අවුරුද්දේ පුළුවන් වුනා. ඇත්තට ඒකට මම අවුරුදු ගානක් මහන්සි වුනා වගේම මට ඒ දවස එනකම් අවුරුදු 3ක් බලාගෙන ඉන්න වුනා.”

“මගේ මීළඟ ප්‍රධානම බලාපොරොත්තුව තමයි ඊළඟ අවුරුද්දේ තියෙන ආසියානු ක්‍රීඩා උළෙල. ඒ නිසා මම ඊළඟ තරගවාරයත් තරමක් පරක්කු වෙලා තමයි පටන් ගන්න ඉන්නේ. උපරිම මහන්සි වෙලා ආසියානු පදක්කමක් දිනා ගන්න උත්සාහ කරනවා.”

“ඒ වගේම මම අනෙක් ක්‍රීඩකයින් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වැඩ සටහනක් ගැන මේ දවස්වල සාකච්ඡා කරගෙන යනවා. මට විතරක් නැතුව අනෙක් ක්‍රීඩකයින්ට ද ඉස්සරහර යන්න විදියක් හදන්නයි මට ඕන.”

“මට ලැබුණ ඇමරිකානු ඩොලර් 100,000වත් මම තාම අරගෙන නැහැ. මට විතරක් දේවල් ලැබිලා වැඩක් නැහැ. මගෙන් ඉස්සරහට ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් අවශ්‍ය දේවල් ලැබෙන්න ඕන. මම ඒකට දෙයක් හදන්න උපරිම උත්සාහ කරනවා”

එමෙන්ම පසුගිය කාල සීමාව තුළ තරමක කතාබහට ලක් වූ යුපුන් වෙනත් රටකට ක්‍රීඩා කරන්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට යුපුන් මෙලෙස පිළිතුරු දුන්නා.

“ලෝකේ ගොඩක් රටවල් තියෙනවා වෙන රටවල් වලින් ක්‍රීඩකයෝ අරගන්න. බහරේන්, කටාර් වගේ රටවලුත් එහෙමයි. එයාලා එහෙම කරද්දී අපිටත් වෙලාවකට අභියෝගයක්, කිසිම ක්‍රීඩකයෙක්ගේ විස්තර හරියට බලන්නේ නැහැ වෙන රටකට ක්‍රීඩා කළත්. ඒ නිසා ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.”

“වෙන රටකට දුවනවා කියන එක ඇත්තටම දැඩි තීරණයක්. මම තවම එහෙම තීරණයක් අරගෙන නැහැ. අරගෙන නැති ප්‍රධානම හේතුව කවුරු හරි ඉන්න ඕන මේක පටන් ගන්න. මම ලංකාවේ ක්‍රීඩාව උඩට ගන්න දෙයක් කරන්න, මම තවමත් ගොඩක් උත්සාහ කරනවා. මම ඒ වගේ තීරණයකට යන්න කලින් මට දෙයක් කරන්න පුළුවන් නම් මම ඒක අනිවාර්යයෙන් ලංකාව වෙනුවෙන් කරනවා.”

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<