දෙවැනි දිනය අවසානයේ දී තරගාවලි වාර්තා අටක්

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවය 2022

459

දිගු නිහැඬියාවකින් පසුව පාසල් මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම තරගාවලිය වන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවය සිකුරාදා (02) නිල වශයෙන් ආරම්භ වුනේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි. 

දෙසැම්බර් 02 වැනිදා සිට 06 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ දෙවැනි දිනය වන ඊයේ (03) දිනය නිමාවට පත් වන විට තරගාවලි වාර්තා අටක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකිව තිබුණා. 

තරගාවලියේ පළමු වාර්තාව පිහිටුවීමට සමත් වුනේ බිෂොප් විද්‍යාලය නියෝජනය කරන ඔවිනි චන්ද්‍රසේකරයි. අවුරුදු 20න් පහළ බාලිකා යගුලිය දැමීමේ ඉසව්වේ මීටර් 12.72ක දස්කමක් දක්වමින් ඇය එම වාර්තාව හිමි කර ගත්තා. 

තරගාවලියට සහභාගී වන වැඩිම අවධානය දිනා ගත් ක්‍රීඩිකාව වන තරුෂි කරුණාරත්න අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 400 ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වුනේ තත්පර 54.8ක කාලයකින් තරගය අවසන් කරලයි. 

අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 100 ඉසව්ව තත්පර 12.6ක කාලයකින් අවසන් කරමින් නව වාර්තාවක් පිහිටුවීමට වත්තල ලයිසියම් බාලිකා විද්‍යාලයේ උමායා රත්නායකට හැකි වෙද්දී, 14න් පහළ බාලිකා දුර පැනීම ඉසව්වේ නව වාර්තාවක් පිහිටුවීමට දික්වැල්ල විජිත මහා විද්‍යාලයීය ක්‍රීඩිකා එෂානි ශෙහාරාට හැකි වුනේ මීටර් 5,32ක දස්කමක් සමඟයි. 

බාලක අවුරුදු 20න් පහළ යගුලිය දැමීම ඉසව්වේ මීටර් 15.4ක දුරක් වාර්තා කර නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට මාතර රාහුල විද්‍යාලයීය ක්‍රීඩක උවිඳු සුදාරකට හැකි වූ අතර එහි 18න් පහළ නව වාර්තාවක් පිහිටුවීමට මීටර් 16.9ක දස්කමක් දැක්වූ ජයවි රත්හිඳට හැකි වුනා. 

18න් පහළ බාලක මීටර් 100 ඉසව්ව තත්පර 10.7ක කාලයකින් අවසන් කරමින් ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ වීරරත්න නව තරගාවලි වාර්තාවක් පිහිටුවද්දී තත්පර 11.9ක කාලයකින් 14න් පහළ මීටර් 100 අවසන් කළ කනුමුල්දෙනිය විද්‍යාලයේ තුෂාන් කුමාරනායක එහි තරගාවලි වාර්තාව ද අලුත් කළා. 

සමස්ත තරගාවලියේ පළාත් කාණ්ඩයේ මේ වන විට ප්‍රසාද ලකුණු 442ක් ලබා ගනිමින් බස්නාහිර පළාත පෙරමුණේ පසුවෙද්දී, ලකුණු 145ක් ලබා ගත් දකුණු පළාත දෙවැනි තැන සහ ලකුණු 121ක් ලබා ගත් මධ්‍යම පළාත තෙවැනි තැන පසු වේ. 

එමෙන්ම පාසල් කාණ්ඩයේ බාලක කොටසේ ලකුණු 31ක් ලබා ගනිමින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පෙරමුණෙ සිටිද්දී ඔවුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් මාතර රාහුල ක්‍රීඩකයින් දෙවැනි තැන පසුවෙන්නේ ප්‍රසාද ලකුණු 27ක් සමඟයි. 

කාන්තා කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 42ක් ලබා ගනිමින් සුපුරුදු පරිදි වළල ඒ. රත්නායක විද්‍යාලය පෙරමුණේ පසු වෙද්දී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල දෙවැනි ස්ථානයේ සිටින්නේ ප්‍රසාද ලකුණු 39ක් ලබා ගෙනයි. 

>> තරගාවලියේ මෙතෙක් පැවති තරගවල ප්‍රතිඵල<<

2022 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<