නොකඩවා දෙවැනි වරටත් Adelaide Strikers  WBBL කිරුළ දිනයි

WBBL 2023

869
WBBL 2023

09 වැනි වරට පැවැත්වුණු කාන්තා Big Bash ක්‍රිකට් ලීගයේ ශූරතාව ජයග්‍රහණය කිරීමට Adelaide Strikers කණ්ඩායම විසින් ඊයේ (02) දිනයේ දී සමත් වුනා.

තරගාවලියේ මූලික වටයේ ක්‍රීඩා කළ තරග 14න් 11ක් ම ජයග්‍රහණය කරමින්, ලකුණු සටහනේ පෙරමුණේ ද පසු වෙමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ Strikers කණ්ඩායමේ ප්‍රතිවාදියා ලෙස Brisbane Heat කණ්ඩායම ඊයේ පිටියට පිවිසුණා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දුවට පහර දුන් Strikers ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 125ක් පමණයි. මෙහි දී Laura Wolvaardt ලකුණු 39ක් සහ නායිකා Tahlia McGrath ලකුණු 38ක් ලබා ගත්තා. එමෙන්ම Heat වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Nicola Hancock ලකුණු 23කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

පන්දුවාර විස්සක් තුළ ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව නොකඩවා දෙවැනි වරටත් WBBL ශූරතාව දිනා ගැනීමට Adelaide Strikers කණ්ඩායමට ප්‍රමාණවත් නොවන බවක් පෙනෙන්නට තිබුනත් ඔවුන්ගේ පන්දු යවන්නියන් විසින් තරගයේ ප්‍රතිඵලය නොසිතූ ලෙස වෙනස් කිරීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම දියත් කරමින් පහසු ඉලක්කයක් හඹා යමින් සිටි Brisbane Heat ඉනිම වරෙක කඩුලු 5කට ලකුණු 96ක් ලෙස දිස් වූ අතර ඒ වන විට ඔවුන්ට පන්දු 21ක් තුළ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ව තිබුණේ ලකුණු 30ක් පමණයි. නමුත් නියමිත පන්දුවාර 20 අවසන් වන විට Brisbane Heat ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 122කට සීමා වුනේ Adelaide Strikers වෙත ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් ලබා දෙමිනුයි.

මේ අනුව 2022 වසරේ ද WBBL ශූරතාව ජයග්‍රහණය කළ Adelaide Strikers කණ්ඩායම විසින් නැවත වරක් WBBL කිරුළ දිනා ගැනීමට සමත් වුනා. මෙහි දී Adelaide Strikers වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Amanda-Jade Wellington විසින් ලකුණු 16කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. තරගයේ වීරවරිය සම්මානය හිමි වුනේ ද ඇය හටයි.

මේ අතර තරගාවලියේ Play-Off වටයෙන් ඉවතට විසි වීමට සිදු වුවත් එතෙක් තරගාවලිය තුළ Sydney Thunder වෙනුවෙන් විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා.

2023 WBBL තරගාවලියෙන් අනතුරුව එළඹෙන 07 වැනි දා සිට පිරිමි Big Bash ක්‍රිකට් ලීගය ද ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතයි. එම තරගාවලිය පිළිබඳ ව ද උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<