චමරි නැවතත් ඕස්ට්‍රේලියාවට!

WBBL 2023

1038

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2023 කාන්තා Big Bash ක්‍රිකට් ලීගයට (WBBL) ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු හට නැවතත් අවස්ථාව හිමි වී තිබෙනවා. 

මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම්වලට ක්‍රීඩිකාවන් තෝරා ගැනීමට අදාළ ක්‍රීඩක කෙටුම්පත්කරණය (Player Draft) පසුගිය සැප්තැම්බරයේ දී පැවැත්වුණු නමුත් එහි දී චමරිව කිසිදු කණ්ඩායමක් මගින් ලබා ගැනීමට උත්සාහ කළේ නැහැ.

මීට පෙර ඇය විසින් මෙම WBBL තරගාවලියේ Perth Scorchers සහ Melbourne Renegades කණ්ඩායම්වලට ක්‍රීඩා කර තිබූ අතර, ඇය අවසන් වරට ක්‍රීඩා කළ Renegades කණ්ඩායමට අවශ්‍ය නම් ඇයව මෙවර තරග වාරය වෙනුවෙන් රඳවා තබා ගැනීමට ද හැකියාවක් තිබුණා. 

නමුත් Renegades විසින් Hayley Matthews සහ Harmanpreet Kaur යන ක්‍රීඩිකාවන් කණ්ඩායමට එකතු කර ගත්තා මිස චමරි වෙනුවෙන් අවධානය යොමු කළේ නැහැ.

ආසන්න කාලයේ දී නවසීලන්තයට එරෙහිව විශිෂ්ට දක්ෂතා පෙන්වමින් මෙන්ම, එංගලන්තයට එරෙහිව එංගලන්තයේ දී ම ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ වීරවරිය ලෙස පවා සම්මාන දිනා ගැනීමට සමත් වූ චමරි විසින් ඇයට විදෙස් ලීග් තරගාවලිවලින් ලැබෙන නොසැලකිල්ල පිළිබඳ සිය කනගාටුව ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ මේ අතරවාරයේ දීයි. 

කෙසේ වෙතත් නවතම මාධ්‍ය වාර්තා අනුව WBBL තරගාවලියේ Sydney Thunders කණ්ඩායම විසින් මෙම ප්‍රවේගකාරී වමත් පිතිකාරිණිය තම කණ්ඩායමට සම්බන්ධ කර ගැනීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ඇය විසින් මෙවර තරගාවලියේ දී Marizanne Kapp, Heather Knight සහ Lauren Bell වැනි විදෙස් ක්‍රීඩිකාවන් හා එක්ව Sydney Thunders වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත. 

මෙම මස 19 වැනිදා 2023 WBBL තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, Sydney Thunder කණ්ඩායම ඔක්තෝබර් 22 වැනිදා තරගාවලියේ සිය පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<