කුසල්, සොනාල් සහ මිලාන් ශ්‍රී ලංකාව සනසවයි

Sri Lanka tour of Pakistan 2026

1

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය (19) නිමා වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ 2 වැනි ඉනිමේ තවත් කඩුල්ලක් පමණක් ඉතිරි වෙමින් ප්‍රතිවාදී පාකිස්තානයට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් සිටිනවා.  

Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ ඔවුන් මෙම ඉනිම ක්‍රීඩා කරන්නේ ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 227ක් පිටුපස සිටිමින් ආරම්භ කළ ඉනිම තුළදීයි. ඒ අනුව ඔවුන් මේ වෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 309ක් ලබා සිටිනවා.  

ලහිරුට කඩුලු 5ක්; ශ්‍රී ලංකාව තවත් ලකුණු 153ක් පිටුපසින්

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 98ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තානය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 325ක් ලබා ගත්තා. 

 තරගයේ 3 වැනි දිනය ආරම්භ වෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 74ක් ලබා සිටියා. ඒ වෙද්දී ආරම්භක පිතිකරු පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 18ක් ද සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 24ක් ද ලබා සිටියා.  

ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 91ක දී ලකුණු 60ක් කර සිටිය දී ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියා.  

පසිඳු සූරියබණ්ඩාර ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව 6 වැනි කඩුල්ලට පිටියට එක් වූ නායක කුසල් මෙන්ඩිස් සහ සොනාල් දිනූෂ එක් ව එම කඩුල්ලට පන්දු 185ක දී ලකුණු 81ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ කුසල් මෙන්ඩිස් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා.  

එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 24 වැනි අර්ධ ශතක වූ අතර ඒ සමඟින් ඔහු ටෙස්ට් ලකුණු 5000 කඩඉම පසු කිරිමට ද සමත් වූවා. 

කුසල් මෙන්ඩිස් ගේ දැවී යෑමෙන් අනතුරු ව මිලාන් රත්නායක හා එක් වූ සොනාල් දිනූෂ 7 වැනි කඩුල්ලට පන්දු 74ක දී ලකුණු 53ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව නිමා වෙන්නේ සොනාල් දිනූෂ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 3 වැනි අර්ධ ශතකයයි.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව 8 වැනි කඩුල්ලට ප්‍රභාත් ජයසූරිය (1) ද සහ 9 වැනි කඩුල්ලට ලහිරු කුමාර ද (5) ද ඉනිම් හැර යන්නේ අඩු ලකුණු ප්‍රමාණයකට තම ඉනිම් සීමා කර ගනිමිනුයි.  

තරගයේ 3 වැනි දිනය අවසන් වෙද්දී මිලාන් රත්නායක පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ද සහ අසිත ප්‍රනාන්දු පන්දු 4කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී  Aamer Jamal ලකුණු 67කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Mohammad Abbas සහ Razaullah කඩුලු ද්විත්වය බැගින් ද, Saqib Khan සහ Salman Agha කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 98 (35.3) කුසල් මෙන්ඩිස් 32, සොනාල් දිනූෂ 21, Mohammad Abbas 3/14, Razaullah 3/21, Aamer Jamal 3/24
  • පාකිස්තානය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 325 (87.5) Azan Awais 47, Tayyab Arif 46, Saqib Khan  37, Saud Shakeel 24, Salman Agha 21, Ghazi Ghori 54, Razaullah 42, අසිත ප්‍රනාන්දු 3/88, ලහිරු කුමාර 5/95
  • ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 309 (93.0) පසිඳු සූරියබණ්ඩාර 38, ධනංජය ද සිල්වා 37, කුසල් මෙන්ඩිස් 53, සොනාල් දිනූෂ 54, මිලාන් රත්නායක නොදැවී 60, Mohammad Abbas 2/54, Razaullah 2/110, Aamer Jamal 3/67

ශ්‍රී ලංකාව ලකුණු 82ක් ඉදිරියෙන්. 

මෙම තරගය හෙට (20) 4 වැනි දිනයටත් ක්‍රියාත්මක විමට නියමිතයි.  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<