ඉන්දීය අපලයෙන් මිදීමට ශාන්ති කර්මයක් අවශ්‍ය ආසියානු කුසලානය

ACC U19 Asia Cup 2023

816
ACC U 19 Asia Cup - Sri Lanka History

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 10 වැනි වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (08) සිට 15 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්විමට නියමිතයි. 

තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වෙන අතර ඔවුන් කාණ්ඩ 2ක් යටතේ තරගාවලියට එක් වෙනවා.  

A කාණ්ඩය: ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, නේපාලය සහ පාකිස්තානය 

B කාණ්ඩය: එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, ජපානය සහ ශ්‍රී ලංකාව 

මෙතෙක් පැවැති තරගාවලි 9න් 8 වතාවක් ම ඉන්දියාව ජයග්‍රහණය කිරීමට සමත් ව තිබිම කැපී පෙණෙන අතර 2012 වසරේ දී පාකිස්තානය එක් ව සම ශූරතා දිනූ අවස්ථාවක් ද ඊට ඇතුලත් වෙනවා.    

ඔවුන්ට අහිමි වූ 2013 වසරේ පැවැති 4 වැනි තරගාවලියේ ජයග්‍රහණය ඇෆ්ගනිස්තානය සතු කර ගන්නවා.  

මෙම තරග මාලවේ දී ශ්‍රී ලංකාව අවස්ථා 5ක දී අවසන් මහා තරගවලට එක් ව ඇති අතර ඒ සෑම අවස්ථාවක දී ම ඉන්දියාව හමුවේ අනුශූරතාවෙන් සෑහීමකට පත් වීමට ඔවුන් ට සිදු වෙනවා. ඊට අමතර ව තවත් අවස්ථා 3ක දී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වෙන අතර ඒ සෑම අවස්ථාවකදී ම ඉන්දියාව හමුවේ පරාජය වෙමින් තම ගමන නිමා කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වෙන්නේ.  

1 වැනි තරගාවලිය  

1989 දෙසැම්බර් මස 8 වැනිදා සිට 15 වැනිදා දක්වා බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැති වයස අවුරුදු 19න් පහළ මංගල ආසියානු කුසලානය සඳහා සහභාගී වෙන්නේ රටවල් 3ක් පමණයි. ඒ ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවයි.  

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මාවන් අතපත්තු සතු වෙන අතර ඔහු වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල අර්ධ ශතකය වාර්තා කළ ක්‍රීඩකයා බවට ද පත් වෙනවා. ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ පාකිස්තානයට එරෙහිවයි.  

තරගාවලියේ අනුශූරයන් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

අවසන් මහා තරගය, Dhaka, දෙසැම්බර් 15, 1989, U 19 Asia Cup 

  • ක්‍රීඩාංගණය –Bangabandhu National Stadium, Dhaka 
  • කාසියේ වාසිය – ඉන්දියාව  

ඉන්දියාව – කඩුලු 7ක් දැවී 224 (49) Ajay Jadeja 24, Vinod Kambli 46, Ranjib Biswal 29, Bhupinder Singh 45, Nishan Silva 1/18 

ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 145 (39.5) චමින්ද හඳුන්නෙත්තිගේ 25, වරුණ වරාගොඩ 27, ජෙහාන් ජේමන් නොදැවී 42, Ajay Jadeja 2/15, Gyanendra Pandey 3/43, Aashish Kapoor 2/25 

ඉන්දියාවට ලකුණු 79ක ජයක්.  

2 වැනි තරගාවලිය  

2 වැනි වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ මංගල තරගාවලිය පැවැත්වීමෙන් අනතුරුව වසර 13කට පසුවයි. එවර තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමි වෙන අතර තරගාවලිය 2003 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා සිට නොවැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වෙනවා.  

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ෆර්වීස් මහරූෆ් සතු වෙන අතර පෙර තරගාවලියට එක් වූ කණ්ඩායම් 3ට අමතර ව බංග්ලාදේශය ද මෙවර තරගාවලියට එක් වෙනවා.  

මෙම තරගාවලියේ දී මෙන් ම පළමු තරගාවලියේ දී සේ ම මෙවර තරගාවලියේ ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි. නමුත් එවර ද ශ්‍රී ලංකාවට අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වෙනවා.  

කෙසේ වෙතත් ඉනිම් 4ක දී ලකුණු 179ක් ලබා ගත් හර්ෂ විතාන වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු ලෙසින් තරගාවලිය අවසන් කිරීමට සමත් වෙනවා.  

අවසන් මහා තරගය, Lahore, නොවැම්බර් 06, 2003, U 19 Asia Cup 

  • ක්‍රීඩාංගණය – Gaddafi Stadium, Lahore 
  • කාසියේ වාසිය – ඉන්දියාව 

ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 225 (49.4) ගංගනාත් රත්නායක 45, ෆර්වීස් මහරූෆ් 57, කෝසල කුලසේකර 29, Irfan Pathan 3/33, Sunny Singh 3/35 

ඉන්දියාව – කඩුලු 2ක් දැවී 229 (44.4) Robin Uthappa 88, Rakesh Solanki නොදැවී 56, Ambati Rayudu නොදැවී 57, ඇන්ජලෝ මැතිව්ස් 1/30 

ඉන්දියාව කඩුලු 8ක ජයක්.  

3 වැනි තරගාවලිය  

2 වැනි තරගාවලියේ නිමාවෙන් අනතුරුව තවත් වසර 11කට පසුවයි නැවත මෙම තරගාවලිය පැවැත්වෙන්නේ. 2012 වසරේ ජුනි මස 23 වැනිදා සිට ජුලි 01 වැනිදා දක්වා පැවැති මෙම තරගාවලියේ සත්කාරකත්වය මැලේසියාව සතු වෙනවා.  

මෙම තරගාවලියේ දී ප්‍රථම වරට කණ්ඩායම් 8ක් සහභාගී වෙන අතර ඔවුන් කාණ්ඩ 2ක් යටතේ තරග වදිනවා.  

එහි දී ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන අතර ඔවුන් සමඟින් ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ කටාර් රාජ්‍ය ඊට එක් වෙනවා.  A කාණ්ඩය නියෝජනය කරමින් පාකිස්තානය, ඉන්දියාව, නේපාලය සහ මැලේසියාව තරගාවලියට සහභාගී වෙනවා.  

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ගමන අවසන් පූර්ව තරගයේ දී නිමා වෙනවා. ඒ ඉන්දියාව වෙතින් ලත් කඩුලු 6ක පරාජයත් සමඟිනුයි. 

තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන අතර එම තරගය ලකුණු සම වීමෙන් කණ්ඩායම 2 සම ශූරයන් ලෙසින් නම් කෙරෙනවා.  

ශ්‍රී ලංකාව නියෝජනය කළ දකුණතින් පිට දඟ පන්දු යවන තරිඳු කෞෂාල් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් අභිශේක ලබනවා.  

4 වැනි තරගාවලිය  

2013 වසරේ දෙසැම්බර් මස 28 වැනිදා සිට 2014 වසරේ ජනවාරි මස 04 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කරකත්වයෙන් පැවැති තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් සතු වුනා.   

ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරගාවලිය එක් වෙන්නේ ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, සහ මැලේසියාව ද ඊට එක් කර ගනිමින් වන අතර A කාණ්ඩය නියෝජනය කරමින් පාකිස්තානය, ඉන්දියාව, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහභාගී වෙනවා.  

එම තරගාවලියේ දී ද ශ්‍රී ලංකාවේ ගමන් මඟ අවසන් පූර්ව වටයෙන් නිමා වූවා. එවර ද ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වැලැක්වූයේ ඉන්දියාවයි. ඔවුන් අපට එරෙහිව කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර එම තරගයේ දී පාකිස්තානය පරාජය කරමින් නැවත වතාවක් ආසියානු යොවුන් ශූරයන් ලෙසින් අභිශේක ලැබීමට සමත් වෙනවා.  

5 වැනි තරගාවලිය 

2016 වසරේ දෙසැම්බර් 15 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ මැලේසියාව සමඟින් A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර B කාණ්ඩයෙන් බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ සිංගප්පූරුව තරග බිමට පිවිසෙනවා.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම කමිඳු මෙන්ඩිස් වෙත පැවැරෙන අතර ඔවුන් වසර 13කට පසුව අවසන් මහා තරගයක් සඳහා නැවත තම කණ්ඩායම කැඳවාගෙන යනවා 

අවසන් මහා තරගය, ආර්. ප්‍රේමදාස, කොළඹ, දෙසැම්බර් 06, 2016, U 19 Asia Cup 

  • ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස, කොළඹ 
  • කාසියේ වාසිය – ඉන්දියාව 

ඉන්දියාව – කඩුලු 8ක් දැවී 273 (50.0) Prithvi Shaw 39, Himanshu Rana 71, Shubman Gill 70, Abhishek Sharma 29, Salman Khan 26, නිපුන් රන්සික 3/50, ප්‍රවීන් ජයවික්‍රම 3/53 

ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 239 (48.4)  Revan Kelly 62, හසිත බෝයගොඩ 37, කමිඳු මෙන්ඩිස් 53, Rahul Chahar 3/22, Abhishek Sharma 4/37 

ඉන්දියාවට ලකුණු 34ක ජයක්.  

6 වැනි තරගාවලිය  

2017 වසරේ නොවැම්බර් මස 10 වැනිදා සිට 19 වැනිදා දක්වා මැලේසියාවේ දී පැවැති මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ එක්සත් එමීර් රාජ්‍යය සමඟින් B කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙනවා. A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන්නේ බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව සහ මැලේසියාවයි.  

තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා පළමු වටයට පමණක් සීමා වෙන අතර මෙවර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කරන්නේ කමිඳු මෙන්ඩිස්.  

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ගමන මඟ පළමු වටයට පමණක් සීමා වෙමින් නිමා වෙනවා.  

7 වැනි තරගාවලිය  

2018 වසරේ සැප්තැම්බර් මස 29 වැනිදා සිට ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙන්නේ නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතුවයි.  

මෙවර ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ B කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර ඔවුන් සමඟින් බංග්ලාදේශය සහ පාකිස්තානය ද එක් වෙන අතර ප්‍රථම වතාවට හොංකොං රාජ්‍යය ද ඊට ඇතුලත් වෙනවා. ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය A කාණ්ඩයෙන් තරගාවලියට එක් වුනා.  

එවර ද ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟින් අවසන් මහා තරගය සඳහා එක් වෙන අතර පෙර ප්‍රතිඵලයෙන් යුක්තවම තරගාවලිය අවසන් වෙනවා.  

අවසන් මහා තරගය (දිවා/රාත්‍රී), Mirpur, ඔක්තෝබර් 07, 2018, U 19 Asia Cup 

  • ක්‍රීඩාංගණය – Shere Bangla National Stadium 
  • කාසියේ වාසිය – ඉන්දියාව 

ඉන්දියාව – කඩුලු 3ක් දැවී 304 (50.0) Yashasvi Jaiswal 85, Anuj Rawat 57,  Devdutt Padikkal 31, Prabhsimran Singh නොදැවී 65, Ayush Badoni නොදැවී 52, දුනිත් වෙල්ලාලගේ 1/24 

ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 160 (38.4) නිශාන් මධුශ්ක 49, පසිඳු සූරියබණ්ඩාර 31, නවෝද් පරණවිතාන 48, Siddharth Desai 2/37, Harsh Tyagi 6/38 

ඉන්දියාවට ලකුණු 144ක ජයක්.  

8 වැනි තරගාවලිය  

2019 වසරේ සැප්තැම්බර් මස 05 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැති මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව සතු වූ අතර නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට නිපුන් ධනංජය නම් වුනා.  

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී බංග්ලාදේශය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟින් B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ අතර ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ප්‍රථම වරට කුවේට් කණ්ඩායම A කාණ්ඩයෙන් තරගාවලියට එක් වුනා.  

තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිවිසිය ද ඉන්දියාව සමඟින් පැවැති එම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ යෑවීමට නොහැකිව නතර වූවා. කෙසේ වෙතත් පළමු වටයේ වැඩි ප්‍රසාද ලකුණු ලබා සිටි ඉන්දියාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර ඔවුන් බංග්ලාදේශය පරාජය කරමින් එවර ද කුසලානය දිනා ගත්තා.  

9 වැනි තරගාවලිය 

2021 වසරේ දෙසැම්බර් මස 23 වැනිදා සිට 31 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැති මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ දුනිත් වෙල්ලාලගේ වෙතයි.  

නැවතත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර ප්‍රතිඵලය පෙර පරිදි ම වූවා.  

අවසන් මහා තරගය (දිවා/රාත්‍රී), Dubai, දෙසැම්බර් 31, 2021, U 19 Asia Cup 

  • ක්‍රීඩාංගණය – Dubai International Cricket Stadium 
  • කාසියේ වාසිය – ශ්‍රී ලංකාව  

ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී 106 (38.0) රවීන් ද සිල්වා 15, යසිරු රොද්‍රිගෝ නොදැවී 19, Kaushal Tambe 2/23, Vicky Ostwal 3/11 

ඉන්දියාව – කඩුල්ලක් දැවී 104 (21.3) Angkrish Raghuvanshi නොදැවී 56, Shaik Rasheed නොදැවී 31, යසිරු රොද්‍රිගෝ 1/12 

ඉන්දිය කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය කඩුලු 9ක ජයක්.   

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන 

  • දෙසැම්බර් 09: ජපානය සමඟ ICC Academy Ground No 2, Dubai
  • දෙසැම්බර් 11: එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ICC Academy, Dubai
  • දෙසැම්බර් 13: බංග්ලාදේශය සමඟ ICC Academy, Dubai

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරග ඉතිහාසයේ දී ශ්‍රී ලංකාවේ කඩඉම් 

326/8 (50.0): එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව 2019 වසරේ දී කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා කණ්ඩායමක් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. 

304/3 (50.0): ඉන්දියාව විසින් Mirpur ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ  දී ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකාවට එරෙහිව කණ්ඩායමක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

600: ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා එක් ව 2019 වසරේ දී කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී වාර්තා කරන ලද මෙම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා ඉතිහාසයේ කණ්ඩායම් 2ක් එක් ව ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

141/10 (49.4): ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම දෙනා දැවී ලබා ඇති අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා වෙන්නේ පාකිස්තානය හමුවේ 2017 වසරේ දී මැලේසියාවේ Kuala Lumpur හි දී.  

32/10 (22.3): ශ්‍රී ලංකාව ඉදිරියේ අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය රට වන්නේ මැලේසියාවයි. ඒ 2013 Abu Dhabi හි දී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ දීයී. 

131: සදීෂ රාජපක්ෂ 2021 වසරේ දී ICCA 2 Dubai හි දී පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගන්නා ලද මෙම ඉනිම ශ්‍රී ලංකා පිතිකරුවෙක් වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානයක දී ලබා ඇති වැඩිම ලකුණු ප්‍රමාණයයි.  

126: බංග්ලාදේශයේ Mahmudul Hasan Joy විසින් 2019 වසරේ දී වාර්තා කරන ලද මෙම ඉනිම ශ්‍රී ලංකාවට එරෙහිව පිතිකරුවෙක් විසින් ලබා ගන්නා ලද වැඩිම ලකුණු ප්‍රමාණයයි.  

211: තරගාවලියක දී වැඩිම ලකුණු ලැබූ පිතිකරු වන්නේ ප්‍රියමාල් පෙරේරා. ඔහු මෙම දක්ෂතාව සිදු කරනු ලබන්නේ 2013 වසරේ දී. ඔහු විසින් ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව ඉනිම 4ක දී වාර්තා කරන ලද අතර එහි සාමාන්‍ය ලෙසින් දැක් වුණේ 105.50ක්.  

12: ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් තරගාවලියක දී ලබා ඇති වැඩිම කඩුලු ප්‍රමාණයේ වාර්තාව හිමි වෙන්නේ තරිඳු කෞෂාල් හට. ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ 2012 වසරේ දී මැලේසියාවේ Kuala Lumpur හි දී තරග 4කට සහභාගී වෙමින්.   

5/11: ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාවේ වාර්තාව ආනන්ද බණ්ඩාරනායක සතු වෙනවා. ඒ 1989 දී Rajshahi හි දී පාකිස්තානයට එරෙහිව පෑ දක්ෂතාවයි.  

6/38 (10): ඉන්දියාවේ Harsh Tyagi, 2018 වසරේ දී බංග්ලාදේශයේ  Mirpur හි දී පෑ දක්ෂතාව ශ්‍රී ලංකාවට එරෙහිව යැවූ හොඳම පන්දු යැවීමයි.. 

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare.com සූදානම්, රැඳී සිටින්නThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<