ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Hong Kong International Sixers 2024

51
Hong Kong International Sixers 2024

2024 Hong Kong International Sixers ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත් වුනා.

තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ පැවැත්වුණු අතර එහි දී බංග්ලාදේශය සහ ඕමානය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ දී නේපාලය සමඟින් තරග වැදුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නේපාලයේ ආරාධනය මත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු ඉනිම ආරම්භ කළා. ඒ අනුව පිටියට පිවිසුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ තනුක දාබරේ සහ සඳුන් වීරක්කොඩි පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් එක් කිරීමට සමත් වුනා.

තනුක ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වූ අතර, සඳුන් ඉතා ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් පන්දු 14කින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුනේ හයේ පහර පහක් ද සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනුයි.

ඔවුන් දෙදෙනා පිටියෙන් ඉවත් වීමෙන් පසුව කඩුල්ලේ එක් වූ නායක ලහිරු මදුශංක සහ ලහිරු සමරකෝන් යුගලය ඉනිම නිමාවන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ පිළිවලින් ලකුණු 31ක් සහ 22ක් ලබා ගනිමිනුයි. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 123ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මින් අනතුරුව නේපාල පිතිකරුවන් අදාළ ඉලක්කය හඹා යාමට පිටියට පිවිසුනත් ඔවුන්ට එතරම් සාර්ථක ලෙස පිතිකරණයේ යෙදීමට ශ්‍රී ලංකා පන්දු යැවීම ඉඩ ලබා දුන්නේ නැහැ. නේපාල ඉනිම පන්දුවාර 5ක් තුළ නිමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, ඒ වන විට ඔවුන් ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 83ක් පමණයි. ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Rashid Khan පන්දු 18කින් ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු සමරකෝන් සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

  • ශ්‍රී ලංකාව– 123/2 (6) සඳුන් වීරක්කොඩි 50, ලහිරු මදුශංක 31
  • නේපාලය– Rashid Khan 55, ලහිරු සමරකෝන් 2/6, තරිඳු රත්නායක 2/24

තරගයේ වීරයා ලහිරු සමරකෝන්

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, හෙට (03) දිනයේ දී ඔවුන් බංග්ලාදේශය සමඟ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි. මෙම තරගය හෙට පෙරවරු 11.30ට ආරම්භ වනු ඇති.

එමෙන්ම අනෙක් අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතයි. එමෙන්ම තරගාවලියේ අවසන් මහා තරගය ද හෙට දිනයේ ම ක්‍රියාත්මක වනු ඇති.

2024 Hong Kong Sixers තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<