ශ්‍රී ලංකාව ලකුණු 193ක් ඉදිරියෙන්

Sri Lanka tour of Pakistan 2026

1

පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තුන් දින තරගයේ 2 වැනි දිනය (5) නිමා වෙද්දී තම 2 වැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 121ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් සත්කාකර පාකිස්තාන කණ්ඩායමට වඩා මේ වෙද්දී ලකුණු 193ක් ඉදිරියෙන් පසු වෙනවා.  

ලහිරු සහ කුසල් අර්ධ ශතක වාර්තා කරයි

Islamabad නුවර Islamabad Club Cricket Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබා ගනිමින් ඉනිම අත් හිට වූ අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අනුග්‍රාහක කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 151ක් ලබා ගනිමින් ඔවුන් ද ඉනිම අත් හිටුවනවා.  

ඔවුන් අද තම ඉනිම ආරම්භ කරන්නේ කඩුලු 2ක් දැවී ලකුණු 43ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටින Azan Awais නොදැවී ලකුණු 19ක් ද සහ Mohammad Taha නොදැවී ලකුණු 16ක් ද ලබා සිටියා.  

ඔවුන් අතුරින් අද පළමුවෙන් ම ඉනිම හැර යන්නේ Mohammad Taha. ඔහු දැවී යන විට පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.  

Azan Awais ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා. ඔවුන්ට අමතර ව Tayyab Arif පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී ලහිරු කුමාර, මිලාන් රත්නායක සහ ඩිල්ශාන් මදුශංක කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව ප්‍රභාත් ජයසූරිය සහ කේශර නුවන්ත කඩුල්ල බැගින් දවා ගත්තා.  

පළමු ඉනිමේ ලකුණු 72ක් ද සමඟින් 2 වැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ ලහිරු උදාර ලකුණු 15ක් ද සහ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 14ක් ද ලබා ගත්තා. ලහිරු උදාරගේ ඉනිම පන්දු 21කින් සමන්විත වූ හතරේ පහර 3කින් ද සහ පසිඳු සූරිබණ්ඩාර ගේ ඉනිම පන්දු 33කින් සමන්විත වූ හතරේ පහර 2කින් ද සමන්විත වුණා.  

දිනේෂ් චන්දිමාල් ට මෙම ඉනිමේ දී ද ලකුණු ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. පෙර ඉනිමේ දී අර්ධ ශතයක් වාර්තා කළ නායක කුසල් මෙන්ඩිස් ට මෙම ඉනිමේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 3ක් පමණයි.  

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව අංජල බණ්ඩාර පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ද, මිලාන් රත්නායක පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද සහ සොනාල් දිනූෂ පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Shoaib Akhtar ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Ubaid Shah සහ Saqib Khan කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 223 (58.0) ලහිරු උදාර 65, කුසල් මෙන්ඩිස් 66, අංජල බණ්ඩාර නොදැවී 33, Saqib Khan 2/28, Mohammad Salman 2/52, Ali Shabbir 2/28 
  • පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රාහක කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 151 (47.0) Azan Awais 50, Mohammad Taha 29, Tayyab Arif 30, ලහිරු කුමාර 2/16, ඩිල්ශාන් මදුශංක 2/32, මිලාන් රත්නායක 2/24
  • ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 121 (38.0) සොනාල් දිනූෂ 22, අංජල බණ්ඩාර 34, මිලාන් රත්නායක නොදැවී 27, Shoaib Akhtar 3/22

ශ්‍රී ලංකාව ලකුණු 193ක් ඉදිරියෙන්.  

මෙම තරගය හෙට (6) 3 වැනි සහ අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතයි.  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<