ICC එන්න, ඉන්දියාව දෙසත් බලන්න!

Border - Gavaskar Trophy 2023

4072

2023 Border – Gavaskar ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි ටෙස්ට් තරගය ඊයේ (01) ඉන්දියාවේ Indore හී පිහිටි Holkar ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර, තරගයේ දිනක් අවසන් වන විටම තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය පිළිබඳ ආන්දෝලනාත්මක කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

මෙවර තරගාවලියේ මුල් තරග දෙක නාග්පූර් සහ දිල්ලි ක්‍රීඩාංගණවල දී පැවැත්වුණු අතර එම තරග දෙකම දින තුනක් ගෙවී යන විට අවසන් වුනේ ඉන්දියාවට ජයග්‍රහණ හිමිකර දෙමිනුයි.

නමුත් ඊයේ ආරම්භ වුන තරගය පැවැත්වෙන Indore හී Holkar ක්‍රීඩාංගණය පෙර ක්‍රීඩාංගණ දෙකටත් වඩා පිතිකරුවන්ට අතිශය අහිතකර මට්ටමක පවතින බව සඳහන් කරන Times of India පුවත්පත වාර්තා කරන්නේ, පෙර ක්‍රීඩාංගණ දෙකේම තත්වය “සාමාන්‍ය” (Average) මට්ටමක් ලෙස සඳහන් කළ හැකි වුවත්, මෙම ක්‍රීඩාංගණය “සාමාන්‍ය මට්ටමටත් වඩා අඩු” (below average) මට්ටමේ එකක් ලෙස ICCය විසින් නම් කරනු ඇති බවයි.

ඊයේ තරගය ආරම්භ වීමෙන් මිනිත්තු 30ක් ගත වී යාමටත් පෙර අසාමාන්‍ය මට්ටමේ පන්දු දඟ කැවීමක් දැක ගත හැකි වූ අතර, එහි අවසන් ප්‍රතිඵලය බවට පත් වුනේ දිනය අවසන් වන විට දෙපිලේ ම කඩුලු 14 ක් බිඳ වැටී තිබීමයි. එමෙන්ම එම දැවී ගිය කඩුලු 14ම දඟ පන්දු යවන්නන් සිව් දෙනෙකු අතරේ බෙදී යාම ද විශේෂත්වයක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමෙ සියලු පිතිකරුවන් ලකුණු 109කට දැවී ගිය අතර, පසුව සිය පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ඕස්ට්‍රේලියාව දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 156ක් ලබා ගෙන සිටියා.

මෙම සිදුවීම් සමූහය ලොව පුරා ක්‍රිකට් ලෝලීන් මෙන්ම, විචාරකයින් අතර ද කතාබහට තුඩු දෙන තත්වයකට ම පැමිණ ඇති අතර නිසි තත්ව අනුව සූදානම් කර නොමැති බව පැවසෙන මෙම ක්‍රීඩාංගණය පිළිබඳ තරග තීරක ලෙස කටයුතු කරන Chris Board විසින් පියවර ගනු ඇතැයි අනුමාන කළ හැකියි.

ඕනෑම කණ්ඩායමක් සිය රටේ ක්‍රීඩා කිරීමේ දී එහි වාසිය ලබා ගන්නා බව ප්‍රසිද්ධ කරුණක් වුනත්, එය දඩ මීමා කර ගෙන මෙතරම් වාසි සහගත ක්‍රීඩාංගණ පිළිසකර කර ගැනීම අනුමත කළ නොහැකි බව ඉන්දීය වෙබ් අඩවියක් ම වන Time of India විසින් පවසනවා.

එමෙන්ම ක්‍රීඩාංගණ භාර කරුවන්ට තරගය වෙනුවෙන් ක්‍රීඩාංගණය සූදානම් කිරීමට අවශ්‍ය තරම් කාලයක් නොලැබුණු බව ද ඔවුන් විසින් හෙලි කරනවා. (මීට සති දෙකකට ප්‍රථම ඉන්දියාවේ Dharmashala හී පැවැත්වීමට තිබුණු තරගය පසුව Indore වෙත මාරු කළා.)

එමෙන්ම මීට පෙර පැවැත්වුණු තරග ද්විත්වයටම හොඳ ප්‍රේක්ෂක සහභාගීත්වයක් ලැබුණ ද, දිගින් දිගටම මෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වීම නිසා එම ප්‍රේක්ෂක ආකර්ෂණය හීන වී යාමේ අවදානමක් ද පවතිනවා.

තරගයේ හයවැනි පන්දුවාරයේ දී ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන Matthew Kuhnemannගේ පන්දුවක් හමුවේ ඉන්දීය නායක Rohit Sharma දැවී ගිය අතර, එම පන්දුවේ දඟ කැවීම අංශක 8.3ක් ලෙස සටහන් වී තිබුණා. එමෙන්ම පසුව Nathan Lyon විසින් Cheteshwar Pujara හට යැවූ අදහා ගත නොහැකි දඟ කැවීමක් සහිත වූ පන්දුවක දඟ කැවීම අංශක 6.8ක් ලෙස සටහන් වී තිබුණා.

තරගය ආරම්භයෙන් පැයක් ගත වී යාමටත් ප්‍රථම එවැනි දඟ කැවීමක් වාර්තා වීම ප්‍රශ්න කිරීමට භාජනය විය යුතු බවයි බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ.

හිටපු ඉන්දීය නායකයකු මෙන්ම දඟ පන්දුවට ඉතාම හොඳින් මුහුණ දෙන පිතිකරුවෙකු ලෙස විරුදාවලි ලත් Dilip Vengsarkar පවසන්නේ දින තුනකින් තරග නිමා වීමේ මෙම සංස්කෘතිය ක්‍රිකට් ක්‍රීඩාව විහිළුවක් බවට පත් කර ඇති බවයි.

“ඔබට හොඳ ක්‍රිකට් තරගයක් නැරඹීමට අවශ්‍ය නම් ක්‍රීඩාංගණයට තමයි ඒ වෙනස ඇති කළ හැක්කේ. පන්දු යවන්නට සහ පිතිකරුවන්ට සමාන අවස්ථා ලැබිය යුතුයි. පන්දුව තරගයේ පළමු දිනයේ, පළමු සැසියේ පටන්ම අසාමාන්‍ය විදිහට දඟ කැවෙනවා නම්, අසාමාන්‍ය විදිහේ ඉලිප්පීම් පෙන්වනවා නම් එය ක්‍රිකට් ක්‍රීඩාව විහිළුවක් බවට පත් කරවනවා.

ටෙස්ට් ක්‍රිකට් වලට ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගැනීම ඉතාම වැදගත් දෙයක්. ඔබ එංගලන්තයේ දී, ඕස්ට්‍රේලියාවේ දී ඒක දකිනවා. නමුත් අවාසනාවකට ඒක ඉන්දියාවේ දී වෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව රසවත් නම් විතරයි ප්‍රේක්ෂකයින් තරග නරඹන්න එන්නේ.”

එමෙන්ම ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස සැලකෙන Mathew Hayden පවසන්නේ තමන් ටෙස්ට් ක්‍රිකට් රසිකයින් වෙනුවෙන් කනගාටු වන බවයි.

“දඟපන්දු යවන්නෙකුට තරගයේ හයවැනි පන්දුවාරයේ දී ම පන්දු යවන්න  කිසිම ඉඩක් නැහැ. මම මේ වගේ ක්‍රීඩාංගණවලට අකමැති වෙන්න හේතුව මේකයි.

තරගය දිනන්නෙ ඕස්ට්‍රේලියාව ද නැත්නම් ඉන්දියාව ද කියන එක වැදගත් නැහැ, මේ වගේ තණතිලි ටෙස්ට් ක්‍රිකට් වලට සුදුසු නැහැ.”

එමෙන්ම නම සඳහන් කිරීමට කැමති නොවූ ක්‍රිකට් තණතිලි පිළිබඳ විශේෂඥයෙක් විසින් පවසා තිබුණේ, තණතීරු වලටත් විවේකයක් අවශ්‍ය බවත්, ටෙස්ට් තරගයක් සඳහා කඩුල්ලක් නිර්මාණය කිරීමට නම් අවම වශයෙන් මාසයක පමණ කාලයක් වත් අවශ්‍ය වන බවයි.

නමුත් පසුගිය කාලය පුරාවටම මෙම ක්‍රීඩාංගණය තුල වරින් වර තරග පවත්වා ඇති බැවින් ක්‍රීඩාංගණය සූදානම් කිරීමට අවශ්‍ය තරම් කාලයක් නොලැබෙන්නට ඇති බවයි ඔහු විසින් පවසා තිබුණේ.

Border – Gavaskar ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Time of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<